මුහුද මැදින් දිවෙන බන්ද්‍රා වෝලී



අතීතයේ ‘බොම්බේ’ නමින් හැඳින්වුණු, ස්වභාවික වරායකින් ද සමන්විත මුම්බායි, ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ අගනගරයයි. මුම්බායි අයත් වන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයටය.

මහාරාෂ්ට්‍රයේ අගනුවර වන්නේ ද මුම්බායි ය. ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන නගරය ලෙස ද මුම්බායි සැලකෙයි. මුම්බායි පිහිටා ඇත්තේ කොන්කාන් වෙරළ තීරයේය.

ඉන්දියාවේ සුපිරි ධනවත් පැළැන්තිය පමණක් නොව, අන්ත අසරණ දිළිඳු පැළැන්තිය ද මුම්බායි නුවර තම නිවහන කරගෙන ජීවත් වෙයි. ඉන්දියාවේ සුපිරි නළු නිළියන්ගේ නිවහන මුම්බායිය. හොඳින් හිරු රැස් වැටෙන උණුසුම් නගරයක් වුණත්, මුහුදෙන් හමන සිසිල් සුළං හේතුවෙන්, නගරයේ කර්කශ ස්වභාවය නොදැනෙයි. මුම්බායි විදෙස් සංචාරක ආකර්ශනයකි.

යුනෙස්කෝ ලෝක උරුම ලෙස සැලකෙන ස්ථාන කිහිපයක් මුම්බායි නුවර දකින්න ලැබේ. ඉලැපෙන්තා ලෙන් කැටයම්, චාත්‍රපාතී ෂිවාජී ඓතිහාසික දුම්රිය ස්ථානය, 19 වැනි සියවසට අයත් ගෘහ නිර්මාණ සහ ගොඩනැගිලි ඒ අතර කැපී පෙනෙයි. ඊට අමතරව, නවීන ඉන්ජිනේරු විස්කමක් ලෙස ද සැලකෙන අපූරු මුහුදු මාර්ගයක් (පාලමක්) මුම්බායි නුවර හැඬ ගන්වයි. මේ දැවැන්ත පාලම හැඳින්වෙන්නේ ‘බන්ද්‍රා වෝලී මුහුදු මාර්ගය’ යනුවෙනි. දිවා කාලයට වඩා, විදුලි ආලෝකයෙන් හැඬ ගැන්වෙන මුහුදු මාර්ගයේ සුන්දරත්වය දිස් වන්නේ රාත්‍රියටය.

‘බන්ද්‍රා වෝලී මුහුදු මාර්ගය’ යනු මංතීරු අටකින් සමන්විත කොන්ක්‍රීට් කලුනු සහ රැහැන්වලින් සම්බන්ධ කළ දැවැන්ත ඉදිකිරීමකි. මුහුදු මාර්ගය ඉදිකර ඇත්තේ මුම්බායි මහිම් බොක්කේය. මෙය මුම්බායි නගර බලධාරීන්ගේ සිහින ව්‍යාපෘතියකි. මෙම මුහුදු මාර්ගය හරහා මුම්බායි නුවර බන්ද්‍රා සහ වෝලි යන පළාත් එකිනෙක යා වෙයි. මෙම මුහුදු මාර්ගය නිල වශයෙන් හැඳින්වෙන්නේ ‘රජිව් ගාන්ධි මුහුදු මාර්ගය’ කියාය. ඒ, අගමැති රජිව් ගාන්ධි සිහි කිරීම වෙනුවෙනි.

කෙසේ නමුත් පොදුවේ කවුරුත් පාලම හඳුන්වන්නේ ‘බන්ද්‍රා වෝලී මුහුදු මාර්ගය’ යනුවෙනි. ඒ, මුම්බායි නුවර බටහිර දෙසින් පිහිටි බන්දාරා සහ දකුණින් පිහිටි වෝර්ලී සම්බන්ධ කරමින් එය පිහිටීමය. එපමණක් නොව, මෙම මුහුදු මාර්ගය මුම්බායි නුවර ප්‍රධාන ව්‍යාපාරික කේන්ද්‍රය ලෙස සැලකෙන නරිමාන් පොයිට් තෙක් විහිදෙන අධිවේගී මාර්ගය හා සම්බන්ධ වෙයි.

මුහුදු මාර්ගය සැබැවින්ම ඉන්ජිනේරු විස්කමකි. මෙහි බර අප්‍රිකානු ඇතුන් 50,0000 ක බරට සමාන බව පැවැසෙයි. මුහුද මැදින් දිවෙන ඉන්දියාවට ඇති එකම මං තීරු අටකින් සමන්විත මාර්ගය මෙයයි. පාලම සඳහා දිනකට කිලෝ වොට් 1,000 ක විදුලිය වැයවෙයි. මෙම මුහුදු මාර්ගය නිපදවීමට ඉන්දීය රුපියල් බිලියන 16 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 220 ක්) වැය කිරීමට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත මාර්ග සංවර්ධන අධිකාරියට සිදුවිය. මුහුදු මාර්ගය හින්දුස්ථානී කොන්ස්ට්‍රක්ෂන්ස් ඉදිකිරීම් සමාගම විසින් ඉදි කරනු ලැබිණි. මුම්බායි නොනිදනන නගරයකි. පැය 24 පුරාවට මාර්ග රථ වාහනවලින් පිරී පවතී.

බන්ද්‍රා සහ වෝලී බලා පමණක් නොව, මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ද මාර්ග තදබද මඟහැර යෑමට මෙම මුහුදු මාර්ගය පහසුවක් වී ඇත. දිනපතා වාහන 37,500 කට වැඩි ප්‍රමාණයක් මෙම මුහුදු මාර්ගය භාවිතා කරන බව මුම්බායි බලධාරීහු පවසති.

මුහුදු මාර්ගයේ දිග කිලෝ මීටර් 5.6 කි. පළල අඩි 66 කි. උස මීටර් 126 කි. මුහුදු මාර්ගය සැලැසුම් කළේ ඉන්දීය ඉන්ජිනේරු ෂෙහර්දී ශ්‍රීනිවසාන්ය. මුහුදු මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2000 දී ආරම්භ කෙරුණි. පළමු අදියර යටතේ පාලමේ මංතීරු හතරක් විවෘත කෙරුණේ 2009 මාර්තු 24 වැනිදාය. මංතීරු අටකින් සමන්විත පාලම මුළුමනින්ම සාදා අවසන් කර මහජනතාවට විවෘත කෙරුණේ 2010 ජූනි 30 වැනිදාය. මෝටර් කාර්, වෑන්, ට්‍රක් රථ සහ ලොරි රථ සඳහා පාලම විවෘත වී පවතී.

‘බන්ද්‍රා වෝලී මුහුදු මාර්ගය’ කේන්ද්‍ර කොට ගනිමින්, විශේෂ ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක වෙයි. මුහුදු මාර්ගයේ රථවාහන පාලන කිරීම සිදුවන්නේත්, මුහුදු මාර්ගයේ ආරක්ෂාව ගැන සොයා බැලීම සිදුවන්නේත් මෙම ආරක්ෂක පද්ධතිය මගිනි.

විශේෂ කැමරා පද්ධතියක් මුහුදු මාර්ගය පුරා ස්ථාපිත කර ඇත. ඒ, ප්‍රකාශ තන්තු යොදා ගනිමිනි. ආරක්ෂක පද්ධතිය සහ මුහුදු මාර්ගය නඩත්තු කිරීමේ පද්ධතිය ද එකිනෙකට සම්බන්ධය. ඒ තාක්ෂණයෙන් දියුණු කෘත්‍රිම බුද්ධි පරිගණක පද්ධතියක් ආධාරයෙනි. මුහුදු මාර්ගයේ රථවාහන තදබදයක් ඇති නම්, වාහන හැසිරවීම මෙම පරිගණක පද්ධතිය ආධාරයෙන් සිදුවෙයි.

කාලගුණය අයහපත් අවස්ථාවලදී මංතීරු වෙනස් කරමින් සහ වසා දමමින්, රථ වාහන මෙහෙය වීම සිදු කරයි. ඕනෑම අයහපත් කාලගුණයකට පමණක් නොව, භූමි කම්පාවකට පවා හොඳින් ඔරොත්තු දෙන අයුරින් පාලම නිපදවා ඇත්තේ අති නවීන තාක්ෂණය යොදා ගනිමිනි. වාහන ස්කෑන් කිරීමට ද මෙම කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහනට හැකියාව ඇත. ඒ අනුව, සැකකටයුතු වාහන සහ පුද්ගලයන් පහසුවෙන් හඳුනා ගැනීම මෙම කෘත්‍රිම බුද්ධි වැඩසටහන යටතේ සිදුවෙයි.

පැයක් ඇතුළත වාහන 200 කට වැඩි ප්‍රමාණයක් ස්කෑන් කරමින් ඒවායේ විස්තර දත්ත ගබඩාවේ තැම්පත් කර ගැනීම සිදුවෙයි. පාලමට නුදුරින් බෝට්ටු ගමන් කිරීම සීමා කර ඇත. ඒ සඳහා මුහුදේ ආරක්ෂිත බෝයා කිහිපයක් රඳවා තැබීම ද සිදු කෙරේ.

ලුසිත ජයමාන්න
මුම්බායි සංචාරයකින් පසු


RECOMMEND POSTS