දැවැන්තයන් බේරාගන්න දැවැන්ත සටනක්
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ මේ දිනවල පවතින්නේ දැඩි නිස්කලංක ස්වභාවයකි. ඒ කොවිඩ් වසංගතය හමුවේ ක්‍රියාත්මක කර ඇති ඇඳිරිනීතිය හේතුවෙනි.
ඇඳිරිනීතිය හමුවේ නිස්කලංකව පැවති පානදුර වෙරළ තීරය ඉකුත් 2 වැනිදා කලබලකාරී ස්වභාවයක් ගත්තේ ඇඳිරිනීති බලපත්‍රයක් පවා නොගෙන පෙර දැනුම්දීමකින් තොරවම එහි පැමිණි අමුත්තන් සියයකට ආසන්න ප්‍රමාණයක් හේතුවෙනි.
පානදුර වෙරළට එසේ සේන්දු වී සිටියේ මුහුදේ සිටින දැවැන්තයින්ගේ පරපුරේ පයිලට් වේල් (සිංහලෙන් නියමු තල්මසුන්) වර්ගයේ තල්මසුන් පිරිසකි.
මෙම තල්මසුන් විශේෂය, මෙරට ධීවර ප්‍රජාව හඳුන්වන්නේ කොමඩුවා යන නමිනි.
එසේම මෙම තල්මසුන් මහ කළු තල්මසා ලෙස ද හැඳින්වෙන බව ජාතික ජලජ සම්පත් නියෝජිතායතනයේ තල්මසුන් සම්බන්ධ පර්යේෂකයකු වන ආචාර්ය රනිල් නානායක්කාර මහතා පැහැදිලි කරයි.
වෙරළ දක්වා පැමිණි එම තල්මසුන් රංචුව ආපසු යා ගත නොහැකිව අසරණ වී සිටියදී ඔවුන් යළිත් නිරුපද්‍රිතව ඈත මුහුද වෙත යොමුකිරීමේ වගකීම භාරගත්තේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවයි.
එම ප්රයත්නය සඳහා ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ද නොමදව හිමිවිය.
තල්මසුන් පිළිබඳ පර්යේෂිකාවක සහ ශ්‍රී ලාංකික සමුද්‍ර ජීව විදයාඥවරියක ආචාර්ය ආශා ද වෝස් මහත්මිය ද මෙම මෙහෙයුමට සම්බන්ධ වූ අතර ඇය මෙම සතුන් මුහුදට යොමු කිරීමට අවශ්‍ය මගපෙන්වීම ඇතුළු සහය ලබා දුන්නාය.
මෙම තල්මසුන් යළි මුහුදට යොමු කිරීම අතිශයින්ම වෙහෙසකර දුෂ්කර වූත් කාර්යයක් වූ අතර ඒ සඳහා පැය 16ක් පමණ ගතව තිබිණි.
''මෙය විශාල වෙහෙසකර වැඩක්. සාමාන්‍යයෙන් මෙම තල්මසකුගේ බර කිලෝ ග්රැම් 1000ත් 3000ත් අතර වෙනවා. ඒ කියන්නේ ටොන් එකත් තුනකුත් අතර බරක්. අනෙක මේ සතුන් සාමාන්‍යෙයන් අඩි 10ත් 18ත් අතර දිගකින් යුක්තයි. ඔවුන් හැසිරවීමට මෙයට සහභාගී වූ අයට තමන්ගේ සියලු ශක්තිය යොදන්න වුණා. දිගු වෙලාවක් වෙරළේ සිටින්නට සිදුවූ නිසා තල්මසුනුත් හිටියේ දැඩි ආතතිකාරී තත්ත්වයක. මිනිසුන් හසුරවද්දී ඔවුන් දඟලනවා. ඔවුනගේ සියලු ශක්තිය යොදල වලිගය වනනවා. මේ තත්ත්වය පාලනය කරගෙන වතුරේදී තමනුත් බේරී සතුනුත් බේරා ගන්න අපමණ වෙහෙසක් දැරිය යුතුයි. ඔවුන් පැය 16ක් පමණ මේ වෙහෙසකර කාර්යයේ යෙදී සිටියා." තල්මසුන් බේරාගැනීමේ කාර්යයේ නිරතවූවන් කළ වෙහෙසකර කටයුත්ත සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය ආශා ද වෝස් මහත්මිය පැවසුවාය.
''තල්මසුන් හුස්ම ගන්නේ ඔවුන්ගේ හිසේ ඉහළ කොටසේ තිබෙන පුඩුවලින් . ඒ නිසා හැම වෙලාවෙම අපි උත්සාහ කළේ සතුන් මුහුදට යොමු කරන විට ඔවුන්ගේ හිස ඉහළට සිටින සේ හරවා තල්ලු කිරීමයි. නමුත් මුහුදු රළත් එක්ක මේ දැවැන්ත බරකින් යුතු සතා ඉහළට ඔසවා තල්ලු කිරීම ඔබට හිතා ගන්න පුළුවන් කෙතරම් අසීරු දෙයක්ද කියල. දැඩි මුහුදු රළ එනකොට මේ දැවැන්ත තල්මසුනුත් මිනිස්සුත් එක්කම ආපසු ගොඩ බිම දෙයට විසි වෙනවා. ඔවුන් මේ මෙහෙයුම කළේ කෑලි කැපපෙන අඳුරේ. ඔවුන්ගේ සහයට මෙම ස්ථානයට පැමිණි ජීප් රථ කිහිපයක් මගින් ඔවුන්ට ආලෝකය හැකිතාක් ලබාදුන්නා. සහභාගී වූ කණ්ඩායම් කිසිදු ලෙසකින් තමන්ගේ ජීවිතය ගැන නොසිතා කළ මේ මෙහෙයුම මිහිතලයේ ඓතිහාසික මෙහෙයුමක්" යැයි ද ඇය කීවාය.
ඇතැම් විට තල්මසුන්ගේ දිවි බේරා ගැනීම සඳහා ලෝකයේ සිදු කෙරුණු විශාලතම මෙහෙයුම මෙය විය හැකි බව ද පැවසේ.
පැය 16ක් වූ මෙම අඛණ්ඩ මෙහෙයුමේ නිරත වූ ඇතැමුන් පැය 16 ම ජලයේ සිටි බව වාර්තා වේ.
රැයක් පහන්වනතුරු වෙහෙසී සිදුකළ මෙම ක්‍රියාවලියේදී සතුන් පස් දෙනකු පමණ මියගොස් සිටීම කණගාටුදායක තත්ත්වයක් වුවත් සෙසු සියලු දෙනා මහ සමුදුරේ සුවෙන් පසුවනු ඇත යන්න අපේ පැතුමයි.
එමෙන්ම මෙම සතුන් බේරාගැනීමේ මෙහෙයුමට එක්වූ සියල්ලන්ට ලෝකයේම ගෞරවය හිමිවිය යුතුය.
නියමු තල්මසුන් ලංකාව අනට මුහුදේ බහුලව දකින්න ලැබේ. තල්මසුන් සහ ඩොල්ෆින් මසුන්, අයත් වන්නේ, මනුෂ්‍ය අප මෙන්ම මවු කිරි බොන ක්ෂීරපායී සතුන් අතරටය. මුහුදේ ජීවත් වුවත්, මොවුන් මසුන් ලෙස සැලකිය නොහැකිය.
තල්මස්සුන් හෝ ඩොල්ෆින් රංචු මුහුදු වෙරළට ගොඩගැසීම අසාමාන්‍ය සිදුවීමක් වුවත් එය පුදුමයට කරුණක් නොවෙයි.
මේ අයුරින් තල්මසුන් රංචු හෝ ඩොල්ෆින් රංචු වෙරළට ගොඩගසාවිත් ආපසු මුහුදට යා ගැනීමට නොහැකි වූ අවස්ථා ලොව නන්දෙසින් වාර්තා වී තිබේ.
මීට පෙර පසුගිය සැත්පැම්බර් 23 වැනිදා මේ අයුරින් දිගු වරලැති නියමු තල්මසුන් රංචුවක් ගොඩ ගැසුනේ ඕස්ට්‍රේලියාවට අයත්, ඕස්ට්‍රේලියාවට පහළින් පිහිටි ටැස්මේනියාවේ වෙරළ තීරයකටය. එහිදී තල්මසුන් බොහෝ දෙනකු මුහුදට තල්ලු කර යැවීමට හැකිවුවත්, සියකකට වැඩි පිරිසක් මියගියහ.
තල්මසුන් සහ ඩොල්ෆින් වෙරළට ගොඩ ගසන සංසිද්ධිය ඉංග්‍රීසි බසින් හැදින්වෙන්නේ ස්ට්රෑන්ඩින්ග් යනුවෙනි. එසේ වන්නේ ඇයිදැයි නිවැරදි පැහැදිලි කිරීමක් නැත.
කෙසේ නමුත්, සාගර ජීව විද්‍යාඥයන් පවසන ආකාරයට තල්මසුන් සහ ඩොල්ෆින් වැනි සාගර ක්ෂීරපායීන් මඟ සොයා ගනිමින් පිහිනා යන්නේ සෝනාර් ක්රමයකටය. මුහුදු රළවලින් නැගෙන තරංග ඒ සඳහා උපයෝගී කර ගැනෙයි.
එසේ පිහිනා යද්දී, මඟ වැරදීමක් සිදු වුණොත් රංචු පිටින් වෙරළට ළං වෙයි. වෙරළට ලංවුවහොත් ආපසු දියඹට යෑම අසීරුය. විපරිත කාලගුණ තත්ත්වයන්, අසාමාන්‍ය දියවැල් ආදිය තල්මසුන් සහ ඩොල්ෆින් රංචු නොමඟ යැවීමට හේතුවක් වන බවට අදහසක් පළ වී තිබේ.