කළු කුහරය සොයා දුන් පරිගණක හපනිය



විශ්වයේ අබිරහසක් ලෙස සැලකෙන කළු කුහර ගැන අදහස පළමුවෙන් ලොවට අනාවරණය කළේ 18 වැනි සියවසේ තාරකා විද්‍යාඥයන් වන ජෝන් මිෂෙල් සහ පියේ සිමොන් ලප්ලේස් යන දෙදෙනාය.  1967 වසරේ දී භෞතික විද්‍යාඥ ජෝව් ආර්චිබෝල් වීලර් කළු කුහර යන නම භාවිත කරමින් එම අදහස යළිත් වරක් ඉදිරිපත් කළේය. විශ්වයේ අබිරහසක් ලෙස සැලකෙන පියවි ඇසට නොපෙනන කළු කුහරයක ඡායාරූප පසුගිය දා ප්‍රසිද්ධියට පත් විය. එය තාරකා විද්‍යාවේත් විශ්ව ගවේෂණයේත් සන්ධිස්ථානයක් විය.

කළු කුහරයක පළමු ඡායාරූප මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී, 29 හැවිරිදි පරිගණක විද්‍යාඥවරියක වන කේටී බෝමන් ගැනත් කාගේත් අවධානය යොමු විය. තාරකා විද්‍යාඥයන්ට පෘථිවි දුරේක්ෂ යොදා ගනිමින් විශ්වයේ ඈත මන්දාකිණියක ඇති කළු කුහරයේ ඡායාරූප ගැනීමට මඟ පාදා දුන්නේ පරිගණක හපනියක වන ආචාර්ය කේටී බෝමන්ය. ඒ ඇය විසින් සකස් කරනු ලැබූ ඇල්ගෝරිදමයක්, එසේත් නැතිනම් පරිගණක ගණනය කිරීමේ ක්‍රමවේදයක් (පරිගණක වැඩසටහනක්) හරහාය.

පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන ටි්‍රලියන 500 ක් දුරින් ඇති මේ කළු කුහරය දූවිලි සහ වායු ගිල ගන්නා අයුරු දැක්වෙන එම ඡායාරූපය තාරකා විද්‍යාඥයන් විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ මහත් ආඩම්බරයෙනි. කෙසේ නමුත් තාරකා විද්‍යාඥයන්ට වඩා ඒ ගැන ආඩම්බර වන්නේ ආචාර්ය කේටී බෝමන්ය. තමාගේ පරිගණක වැඩසටහන යොදා ගනිමින් මේ අයුරින් කළු කුහරයක ඡායාරූපයක් ලබා ගන්න හැකිවීම තමන්ට පුදුමයක් බව කේටී සමාජ ජාල ඔස්සේ පවසා ඇත. කුළු කුහරයේ ඡායාරූප දැකීමෙන් මවිතයට පත්වුණු කේටිගේ ඡායාරූප ෆේස්බුක් ආදී සමාජජාල ඔස්සේ ද ප්‍රසිද්ධියට පත් වී අවසන්ය. ‘මට විශ්වාස කරන්නත් බැහැ. මම සැකැසූ පරිගණක වැඩසටහන යොදා ගනිමින් ගත් ඡායාරූප දකිද්දී  මට හරි පුදුම හිතුණා’ යැයි ඇය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යෙදුවාය.

ආචාර්ය කේටි බෝමන් මීට වසර 3 කට පෙර, උපාධි අපේක්ෂක ශිෂ්‍යාවක ලෙස ඇමෙරිකාවේ මැසචුසෙට් තාක්ෂණ විශ්ව විද්‍යාලයට සම්බන්ධ වී සිටියාය. ඇය ඇගේ පරිගණක වැඩසටහන එසේත් නැතිනම් ඇල්ගෝරිදමය සකසා ඇත්තේ එහිදීය. එම කටයුත්තේ දී ඇගේ සහායක කණ්ඩායමෙන් ද ඇයට විශාල පිටුවහලක් ලැබී ඇති බව කේටී පසුව සඳහන් කළාය. ඇයට සහාය දැක්වූවන් වන්නේ මැසචුසෙට් තාක්ෂණ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සහ කෘත්‍රිම බුද්ධි පර්යේෂණ අංශය, හාවඞ් ස්මිත්සෝනියන් තාරකා භෞතික විද්‍යා අංශය සහ හේස්ටැක් තාරකා විද්‍යා නිරීක්ෂණාගාරයයි.

මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වුණු කළු කුහරයේ ඡායාරූපය ලබා ගැනීම සිදු කරනු ලැබුවේ ‘ඉවෙන්ට් හොරයිසන්’ දුරේක්ෂක හරහාය. ඊට පෘථිවියේ ස්ථාන රැසක ස්ථාපිත කර ඇති විශ්ව ගවේෂණ දුරේක්ෂ අටක් සම්බන්ධ කර ගැනීම සිදුවිය. තවත් ස්ථාන රැසක පරිගණක ද්‍රඪ තැටිවල ලබා ගන්නා දත්ත තැම්පත් කිරීම සිදුවිය. ඒ සියල්ල සිදුවූයේ කේටිගේ පරිගණක වැඩසටහන පාදක කර ගනිමිනි. කළු කුහරයේ ඡායාරූප ගැනීමේ කටයුත්තට තාරකා විද්‍යාඥයන් 200 කට වැඩි පිරිසක් සම්බන්ධ වූහ. අද වනවිට කේටී පරිගණක හා ගණිත විද්‍යා සහකාර මහාචාර්යවරියක ලෙස කැලිෆෝනියා තාක්ෂණ සරසවියට සම්බන්ධ වී සිටී. කළු කුහරයේ ඡායාරූප ගැනීම සිදුවූයේ බොහෝ දෙනාගේ කැපවීමෙන් සහ එකමුතුවෙන් බවත්, ඊට සහාය දැක්වූ තමන් එම කණ්ඩායමේ එක් අයකු පමණක් බව කේටී මාධ්‍ය හමුවේ කියා සිටියේ බොහොම නිහතමානීවය.

ආලෝකය ද ඇතුළුව සියලු සේ ඇද ගන්නා එසේත් නැතිනම් උරා ගන්නා කුහරයක් ලෙස කළු කුහර හැඳින්වෙයි. විශ්වයේ මහා අබිරහසක් ලෙස ද සැලකෙයි. කළු කුහරයකින් ඇතුළත ඇත්තේ මොනවාදැයි අප දන්නේ නැත. සියල්ල ඇද ගැනීම සිදුවන්නේ එහි ඇති අති ප්‍රබල ගුරුත්වාකර්ෂණය නිසාය. මනුස්සයෙකු කළු කුහරයක් විසින් ගිල ගත්තොත්, ඒ මනුස්සයා ඉලාස්ටික් පටියක් ආකාරයට නොකඩවා ඇදෙනවා යැයි තාරකා විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. තරුවක් හෝ මන්දාකිණියක් පමණ ඉක්මවා ඝනීභවනය වූ විට, ඒවා ඒවා ඇතුළින්ම ගිලගැනීමක් සිදුවෙයි. (ඒක හරියට අතදාලා මේස් එකක් ඇතුළෙන් අනෙක් පැත්ත හරවනවා වැනිය.) එහෙම වෙන්නේ ඒ තරුවේ හෝ මන්දාකිණියේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙනි. සෑම මන්දාකිණියක් මධ්‍යයේම කළු කුහරයක් ඇති බව විශ්වාස කෙරේ.

කළු කුහරවල ප්‍රතිවිරුද්ධ දේ වන්නේ සුදු කුහර එසේත් නැතිනම් ‘ධවල කුහර’ ය. මේවායින් සිදුවන්නේ ඇතුළත ඇති දේ ආලෝකය පවා පිටතට මුදා හැරීමය. එය හරියට ගිනි කන්දකින් ලාවා විහිදුවනවා වගේ ය. කළු කුහර සහ සුදු කුහර එක් කර ගනිමින්, අභ්‍යවකාශයේ ‘වර්ම් හෝල්ස්’ (පණු ගුල්) නිර්මාණය කළ හැකි බවට අනුමාන කෙරේ. බිම් පණුවන් ඔවුන්ගේ ගුල් හරහා එක් තැනක සිට කෙටි ගමනකින් ඈත තැකට ගොස් මතු වෙනවා සේ, අභ්‍යවකාශ යානාවලට මෙවැනි වර්ම් හෝල්ස් හරහා කාලයේ බලපෑමකින් තොරව, ඉක්මනින් අභ්‍යවකාශයේ එක් තැනක සිට තවත් තැකතට යා හැකි බවට තාරකා විද්‍යාඥයන්ගේ අදහසක් පවතී.

ආලෝකය ගිල ගන්නා බව ගන්නා බැවින්, කළු කුහර අපට දකින්න ලැබෙන්නේ නැත. කෙසේ නමුත් ආචාර්ය බෝමන් සහ ඇගේ කණ්ඩායම සකස් කළ ඇල්ගෝරිදමය යොදා ගනිමින් පෘථිවි තාරකා දුරේක්ෂ ආධාරයෙන් ඡායාරූපයට නැගුණු කළු කුහරය කිලෝ මීටර් බිලියන 40ක් පළලය. එය පෘථිවියේ ප්‍රමාණය මෙන් මිලියන 3 කි. දුරේක්ෂ යොදා ගනිමින්, ‘මෙසියර් 87’ නමින් නම් කරනු ලැබූ මන්දාණිය දින 10 ක් තිස්සේ ස්කෑන් පරීක්ෂණයට ලක් කරද්දී තාරකා විද්‍යාඥයන්ට මෙම කළු කුහරයේ ඡායාරූප ලැබුණි. ‘මේ කළු කුහරය අති දැවැන්ත එකක්. අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා ඒක විශාලයි.’ නෙදර්ලන්තයේ රැඞ්බෝඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හීනෝ ෆැල්කේ මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ මවිතයෙනි.

ප්‍රබල ගුරුත්වාකර්ෂණ බලයක් පවතින නිසා කළු කුහරය අවට සියල්ල පමණක් නොව අධික තාපයකට ලක් වී රත් වුණු වායු ධාරා පවා උරා ගනී. වායු ධාරා කළු කුහරයට එසේ උරා ගනිද්දී, ඒවායේ අධික තාපය හේතුකොට ගනිමින් දීප්තිමත් ආලෝකයක් විහිදුවයි. වායු ධාරා කළු කුහරයට රිංගා යද්දී, මේ ආලෝකය අතුරුදන් වෙයි. විද්‍යාඥයන් මේ දීප්තිමත් ආලෝකය සමඟ කළු කුහරය ඡායාරූපයට නැගූ බව පැවැසෙයි. නොපෙනෙන කළු කුහරය ඡායාරූප ගත කෙරුණේ ඒ අනුවය. මේ කළු කුහරය ඇත්තේ ඈත පිහිටි මන්දාකිණියකය. කළු කුහරය සොයා ගැනීම සිදුවූයේ ඉවෙන්ට් හොරයිසන් දුරේක්ෂයේත්, ඊට සම්බන්ධ තවත් දුරේක්ෂ 8 ක ආධාරයෙන් යැයි පැවැසෙයි. පෘථිවි දුරේන්ෂ ආධාරයෙන් නොපෙනන කළු කුහරයක් මේ අයුරින් ඡායාරූපයට ගැනීම සිදුවුණු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.

ඬේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS