අරාබියෙන් අඟහරු යන අමල්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි 'මොහොමද් බින් රෂීද්' අභ්‍යවකාශ ආයතනය, අඟහරු මෙහෙයුමකට සැරසෙයි. මෙය නව මුහුණුවරක් ගත් අඟහරු මෙහෙයුමක් වන අතර, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම ද වෙයි. අඟහරු බලා පිටත් කර යැවෙන්නේ කක්ෂීය ගවේෂණ යානයකි. කක්ෂීය යානා යනු ග්‍රහලොවක කක්ෂයේ රැදී සිටිමින් ගවේෂණය කරන යානාය. යානය අඟහරුගේ කක්ෂයට පිවිස දින 687 ක් තිස්සේ අඟහරු අධ්‍යයනය කරනු ඇත. රොබෝ යානය නම් කර ඇත්තේ 'අමල්' හෙවත් 'බලාපොරොත්තුව' යන නමිනි.

'අමල්' ගවේෂණ යානය අඟහරු යැවෙන්නේ ජූලි 15 වැනිදා ය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය මෙම මෙහෙයුම සඳහා අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් අත්දැකීම් සහ පළපුරුද්ද ඇති රටවල දෙකක සහාය ලබා ගනී. එම රටවල් වන්නේ ඇමෙරිකාව සහ ජපානයයි. 'අමල්' ගවේෂණ යානය නිපදවූවත්, යානය අභ්‍යවකාශයට තල්ලු කර හැරීමට සුදුසු රොකට් තාක්ෂණයක් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට නැත. එහෙයින්, 'අමල්' අභ්‍යවකාශයට යැවීමට ජපාන අභ්‍යවකාශ ආයතනයේ සහාය ලබා ගැනෙයි. ඒ අනුව, 'අමල්' යානය රැගත් රොකට්ටුව, ජපානයේ ටනේගැෂිමා දූපතේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වේවි.

ඉන්පසු මාස 7 ක අභ්‍යවකාශ චාරිකාවක් අවසන් කර, 'අමල්' අඟහරු  කක්ෂයට පිවිසෙනු ඇත. මෙය අසීරු මෙහෙයුමක් වන අතර, මෙහෙයුම සාර් ථක‍‍ වුවහොත්, ඇමෙරිකාවට, සෝවියට් රුසියාවට, ඉන්දියාවට පසු අඟහරු වෙත ගවේෂණ යානයක් යැවූ රට වනු ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. එපමණක් නොව, අරාබි රටක් අභ්‍යවකාශ වික්‍රමයකට එක් වුණු පළමු අවස්ථාව ද මෙය වනු ඇත. 'අමල්' යානයේ බර කිලෝ ග්‍රෑම් 1,350 කි. 'අමල්' යානයට අඟහරුගේ කක්ෂයේ එක් වටයක් යෑමට පැය 55 ක් ගතවෙයි. අඟහරුගේ වසරක් යනු දින 687 කි. 'අමල්' යානයේ ප්‍රධාන අරමුණ වන්නේ අඟහරුගේ කාලගුණය කෙබඳු දැයි අධ්‍යනය කිරීමය.

යානය විවිධාකාරයේ සන්වේදක 3 කින් සමන්විත වන අතර, අඟහරුගේ කාලගුණයේ වෙනස්කම් සහ කාලගුණ රටා අධ්‍යයනය සිදු කෙරේ. එම සන්වේදක 3 ට අති පැහැදිලි කැමරාවක් ඇතුළත් ය. මෙමගින් අඟහරුගේ ඕසෝන් ස්ථරයේ දූවිලි අංශු අධ්‍යයනය සිදු කෙරේ. මෙතෙක් සිදුවුණු අඟහරු මෙහෙයුම් බොහොමයකගේ අරමුණ වී ඇත්තේ අඟහරු මතුපිට භූගෝලීය වෙනස්කම් අධ්‍යයනයයි. අඟහරු‍ හෙවත් රතු ග්‍රහයා නිසරු තැනක් වූයේ කෙසේදැයි සොයා බැලීමය. සන්වේදක නිර් මාණයේ දී ඇමෙරිකාවේ සහාය ද හිමිවී ඇත.

'අඟහරු කියන්නේ පෙනුමින් අප පෘථිවියට සමාන ‍ග්‍රහලොවක්. ඒත් එක්තරා කාලයකදී යම් කිසි සිදුවීම් සමුදායක් නිසා අඟහරු වෙනස් වුණා. දැන් අඟහරු මතුපිට ජලය ඇත්තේ නැහැ. ජීවයේ ප්‍රධානතම සාධකය වන්නේ ජලයයි. අඟහරු මතුපිට වැලි කුණාටු හටගන්නවා. ඒවා බිහිසුණුයි. මාස ගණනක් එක දිගම පවතිනවා. මේ වැලි කුණාටු අධ්‍යයනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා ' යැයි 'අමල්' මෙහෙයුම බාර දෙවැනියා ලෙස කටයුතු කරන, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විද්‍යා සහ තාක්ෂණ කටයුතු ඇමැතිනිය සාරා අල් අමීරී පැහැදිලි කළාය.

එක්සත් රාජධානියේ විද්‍යා කෞතුකාගාරයේ ප්‍රධානී ශ්‍රීමත් ඉයන් බ්ලැච්ෆෝඩ් බීබීසී පුවත් සේවය සමඟ එක් වෙමින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ මෙම අඟහරු මෙහෙයුම සම්බන්ධයේ සුබවාදී අදහස් පළ කර ඇත. මෙම අඟහරු මෙහෙයුම අනෙක් මෙහෙයුම් මෙන් නොවන බවත්, මෙම මෙහෙයුම අඟහරු දෙස නාව මානයකින් බැලීමක් බවත් ශ්‍රීමත් ඉයන් බ්ලැච්ෆෝඩ් වැඩි දුරටත් පවසා තිබේ. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ආරම්භ කළේ අභ්‍යවකාශයට නෙත් යොමා සිටින රටේ තරුණ පම්පරාව වෙනුවෙනි.  එක්සත් අරාබි එමිරේට්ස් අභ්‍යවකාශ ආයතනයට එරට දක්ෂ ඉන්ජිනේරුවෝ සහ තාක්ෂණ ශිල්පීහු රැසක් එක් වී සිටිති. තරුණ පරම්පරාව දිරි ගන්වමින් අභ්‍යවකාශ මෙහෙයුම් සම්බන්ධ වැඩසටහන් ආරම්භ කළ ලොව පළමු රට ලෙස සැලකෙන්නේ ද එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.

'අඟහරු වෙත යානා යැවීම සෙල්ලමක් නොවෙයි. එය ඉතා අසීරු කටයුත්තක්. අභියෝගයක්. ලොව අනෙක් රටවල් මෙතෙක් සිදු කර ඇති මෙහෙයුම්වලින් සාර් ථක වී ඇත්තේ අතලොස්සක් පමණයි.' යැයි අඟහරු මෙහෙයුම බාරව කටයුතු කරන ව්‍යාපෘති කළමණාකරු ඔම්රාන් ෂරාෆ් පෙන්වා දෙයි. 'මොහොමද් බින් රෂීද්' අභ්‍යවකාශ ආයතනය, ඇමෙරිකාවේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේත්, ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේත්, කැලිෆෝනියාවේ බර් ක්ලි අභ්‍යවකාශ විද්‍යා ඒකකයේත් විශේෂඥයන්ගේ සහාය 'අමල්' රොබෝ ගවේෂණ මෙහෙයුම සඳහා ලබා ගන්නා බව ද පැවැසෙයි. අඟහරු වෙත ගවේෂණ යානයක් යැවෙන පළමු අවස්ථාව මෙය වුවත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අභ්‍යවකාශය අලුත් තැනක් නොවෙයි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඔවුන් විසින් ම නිපදවූ චන්ද්‍රිකා හතරක් මේ වනවිට පෘථිවි කක්ෂයට යවා තිබේ. ඒවා පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාය. ඊට අමතරව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නියෝජනය කරමින්, ගගනගාමී හසා අල් මන්සූරි පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළට ද ගියේය. ඒ 2019 වසරේය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS