ළමා විවාහ නැවැත්වීමට ඉස්ලාම් පූජකවරියෝ පෙරට එති



ඉන්දුනීසියාවේ ඉස්ලාම් පූජකවරියන් විසින් ළමා විවාහවලට එරෙහිව පෙර නොවූවිරූ ෆට්වා නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එරට ඉස්ලාම් පූජකවරියන්ගේ සහභාගිත්වයෙන් පැවති තෙදින සම්මන්ත්‍රණයකින් අනතුරුව නිකුත් කරන ලද අදාළ ෆට්වා නියෝගයට නෛතික බැඳීමක් නොමැති නමුත් එය ළමා විවාහ සම්බන්ධයෙන් බලපෑමක් සිදු කළ හැකි ප්‍රබල සාධකයක් වනු ඇත.ෆට්වා නියෝගයක් යනු ඉස්ලාමීය රටවල ආගමික කරුණක් සම්බන්ධ අධිකාරවත් නියෝගයකි.

එම නියෝගය ප්‍රකාරව දැනට පවතින අවුරුදු දාසයේ විවාහ විය හැකි අවම නෛතික වයස් සීමාව අවුරුදු දහඅට දක්වා වැඩි කරන ලෙස පූජකවරියෝ එරට ආණ්ඩුවට බල කර සිටිති.මුස්ලිම් භක්තිකයන් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව ලොව වැඩි වශයෙන්ම ළමා විවාහ සිදුවන රටවල් අතරින් එකකි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) වාර්තාවලට අනුව ඉන්දුනීසියාවේ කාන්තාවන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු විවාහ වන්නේ වයස අවුරුදු දහඅටට අඩුවෙනි.

ජාවා දූපතේ පැවති සම්මන්ත්‍රණය මුස්ලිම් පූජකවරියන්ගේ සහභාගීත්වයෙන් පැවති පළමු ප්‍රධාන හමුව ලෙස විශ්වාස කෙරේ.

ෆට්වා නියෝග ඉන්දුනීසියාව තුළ නිතර ප්‍රකාශයට පත්වන නමුත් සාමාන්‍යයෙන් එවැනි නියෝග නිකුත් කරනු ලබන්නේ සම්පූර්ණයෙන් පාහේ පුරුෂයන්ගෙන් සැදුම්ලත් උලමා සභාව විසිනි.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරෙනි


RECOMMEND POSTS