සංගිලි පාලම කඩා වැටීම



දකුණු කොරියාවේ හැලොවීන් සැමරුමේ තෙරපීමෙන් කම්පනයට පත්වුණු ලෝකය තවත් කම්පාවට පත් කිරීමට ඉන්දීය සංගිලි පාලම අනතුර සමත් විය. එය මෑත කාලයේ ඉන්දියාවේ සිදුවුණු බිහිසුණු අනතුරකි. ඛේදවාචකයකි. පාලම කඩා වැටීමෙන් 135 දෙනකු මියගිය අතර, ඔවුන්ගේ වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන්ය.

ඉන්දියාවේ බටහිර දෙසින් පිහිටි ගුජරාඨ ප්‍රාන්තයේ, මෝර්බි නගරයේ, මච්චූ නදියට ඉහළින් පිහිටි එම සංගිලි පාලම ඉදි කර ඇත්තේ 1900 වසරේ, ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවැති අවදියේදීය. මච්චූ නදිය අසබඩ පිහිටි මෝර්බි නගරය පමණක් නොව, මොර්බි සංගිලි පාලම ද යටත් විජිත සමයේ අවශේෂයන් තවමත් දකින්න ලැබෙන සංචාරක ආකර්ෂණයකි. කඩා වැටුණු සංගිලි පාලම මීටර් 230 ක් (අඩි 755 ක්) දිග විය. පළල මීටර් 1.25 (අඩි 4 ක්.) විය. පසුගිය 31 වැනිදා සන්ධ්‍යාවේ පාලම කඩා වැටෙද්දී ඒ මත සිටි පිරිස 500 කට වැඩිය. පාලම කඩා වැටුණේ ඒ බර දරා ගැනීමට නොහැකි වුණු බැවින් බව පැහැදිලිය.

පාලම කඩා වැටෙන අවස්ථාවේ එය මත බොහෝ දෙනකු එක් රොක් වී මිටියේ ‘චාත් පූජා’ නමැති හින්දු චාරිත්‍රය වෙනුවෙන් බව පැවැසෙයි. පාලම එහෙටත් මෙහෙටත් පද්දමින් සිටින තරුණයකු සමඟ එය හිටිහැටියේ කඩා වැටෙන ඡංගම දුරකතනයක පටිගත වුණු වීඩියෝවක් විදෙස් මාධ්‍ය ඔස්සේ අපට දකින්න ලැබුණි. පහළ නදියට වැටී ගිලෙන්න වූ සහ තුවාල ලැබූ 76 ක් ප්‍රදේශවාසී තරුණයන් විසින් බේරා ගනු ලැබුණි. ජලයේ ගිලී යෑමෙන් පමණක් නොව, පහළින් වූ ගල්වල ගැටී තුවාල වීමෙන් ද බොහෝ දෙනකු මියගිය බව පසුව දැනගන්න ලැබුණි.

දශක ගණනක් තිස්සේ සංචාරක ආකර්ශණයක් වූ මෙම පාලම, අලුත්වැඩියා කටයුතු සඳහා මාස 6 කට වසා දැමුණේ පසුගිය අප්‍රේල් මාසයේ සිටය. පාලමේ අලුත්වැඩියා කටයුතු සියල්ල සිදුවී ඇත්තේ ‘ඔරේවා’ නමැති විදුලි උපාංග නිෂ්පාද ක්ෂේත්‍රයට සම්බන්ධ ඉදිකිරීම් සමාගමේ අධීක්ෂණය යටතේය. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා, පාලම යළි ජනතාවට විවෘත කෙරුණු බව එම ඉදිකිරිම් සමාගම පවසා තිබුණි.

තවත් වසර 10 ක් යන තුරු පාලමේ අලුත්වැඩියා කටයුතු කිසිවක් කළ යුතු නැති බව ‘ඔරේවා’ සමාගම සහතිකයක් ලබා දී ඇතැයි ගුජරාඨ ප්‍රාන්ත එජය පවසයි. පාලම කඩා වැටීමත්, 135 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ජනතා කෝපය එල්ල වූයේ ‘ඔරේවා’ සමාගමටය. ‘ඔරේවා’ සමාගමේ මූලස්ථානය ඇත්තේ ගුජරාඨයේ විශාලතම නගරය ලෙස සැලකෙන අහ්මදාබාද් නුවරය.

‘ඔරේවා’ සමාගම අද ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වුවත්, එම සමාගම ආරම්භ වී ඇත්තේ ඔරලෝසු කාර්මික සමාගමක් ලෙසය. ‘ලොව විශාලතම ඔරෙලෝස් කාර්මික සමාගම’ ලෙස ‘ඔරේවා’ සමාගම, ඔවුන්ගේ නිල වෙබ් අඩවිය හරහා ඔවුන් හඳුන්වා දී තිබේ.  

පාලම කඩා වැටීමේ අනතුර ගැන සොයා බැලීමට විශේෂ පුද්ගලයන් පස් දෙනකුගෙන් සමන්විත විශේෂ විමර්ශන කමිටුවක් කඩිනමින් පත් කිරීමට ගුජරාඨ ප්‍රාන්ත රජය කටයුතු කළේය. වරදකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන බව ගුජරාඨ ස්වදේශ කටයුතු ඇමැති සංගාවී මාධය හමුවේ කියා සිටියේ කෝපයටත් දුකටත් පත් පවුල්වලට යම් අස්වැසිල්ලක් වෙමිනි.

පාලම කඩා වැටෙද්දී මච්චූ නදියට වැටුණු පිරිස් මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් කාලය සමඟ සටන් කරන්න විය. ඉන්දීය හමුදාවේත්, ගුවන් හමුදාවේත් නාවික හමුදාවේත් සහාය එම මෙහෙයුම් සඳහා ලැබුණි. ‘ඔරේවා’ සමාගමේ ප්‍රධානීන් ද ඇතුළු පාලම අලුත්වැඩියා කටයුතු සඳහා සම්බන්ධ වුණු එම සමාගමේ නව දෙනකු වහා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය. සමාගමේ කළමණාකාරවරුන් දෙදෙනකු, කොන්ත්‍රාත්කරුවන් දෙදෙනකු, ලිපිකරුවන් දෙදෙනකු සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඒ අතර සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී අශෝක් කුමාර් යාදෙව් මාධ්‍ය හමුවේ පැවැසීය.

ගුජරාඨය යනු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපන් ප්‍රාන්තයයි. පසුගිය 31 වැනිදා සැන්දෑවේ සංගිලි පාලම කඩා වැටෙද්දී, මෝදි තෙදින නිවාඩුවක් සඳහා ගුජරාඨය බලා පැමිණ සිටියේය. ගුජරාඨ මහ ඇමැති බහුපේන්ද්‍ර පාටෙල් නිවේදනය කළේ මියගිය අයකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් ද තුවාල ලැබූ අයකු වෙනුවෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ද ලබා දීමට තීරණය කළ බවය. ඉන්දීය රුපියල් ලක්ෂ දෙකක මුදලක් තමන් ද  විපතට පත්වූවන් වෙනුවෙන් යොදවන බව අග්‍රාමාත්‍ය මෝදි ද පැවැසීය.

අනතුරින් තුවාල ලැබූවන් ඇතුළත් කෙරුණේ මෝර්බි රෝහලටය. තුවාලකරුවන්ගේ සුවදුක් විමසා බැලීමට තමන් රෝහලට යන බව අග්‍රාමාත්‍ය මෝදි දැනුම් දුන් සැණින්, එක රැයින් රෝහලේ තුවාලකරුවන් සිටින වාට්ටු පමණක් පිළිසකර කිරීමටත් තීන්ත අලේප කිරීමටත් කටයුතු කෙරුණි. එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කළේ, මෝදි රෝහලට පැමිණි අවස්ථාවේ, ඔහුට හමුවීමට ඉඩ ලබා දුන්නේ තෝරාගත් තුවාල ලැබූවන් කීප දෙනකු පමණක් බවය. කඩා වැටුණු සංගිලි පාලම පිහිටි ස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මෝදි දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවුණු ආකාරය සොයා බැලීමට ද අමතක නොකළේය.

එන්.ඩී.ටීවී ඇසුරිනි


RECOMMEND POSTS