විසම ගස ‘පුංචි ඇපල්’



‘ලෝකයේ විසම ගස’ ගැනයි මේ. වැස්ස වෙලාවකදී මෙම ගස යට සිටියොත්, ඔබේ සම පිළිස්සී දියපට්ට හට ගනීවි.ගසේ පුංචි ලස්සන ගෙඩි ආහාරයට ගත්තොත්, අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවී ඔබ මියයනු ඇත. මේ ගස ‘මරණයේ වෘක්ෂය’ යනුවෙන් හැඳින්වෙන්නේ ද එහෙයිනි. ඉංග්‍රීසියෙන් මෙම ගස හැඳින්වෙන්නේ ‘මැන්චිනෙලා’ යනුවෙනි.

‘මැන්චිනෙලා’ කැරීබියන් දූපත්වලට, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයට, මෙක්සිකෝවට, මධ්‍යම ඇමෙරිකාවට, උතුරු සහ දකුණු ඇමෙරිකාවට ආවේණිකය.ගස් කැරිබියානු සහ ලතින් ඇමෙරිකානු රටවල මුහුදු වෙරළ ආශ්‍රිතව දකින්න ලැබේ. ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, මහාමාස් සහ කැරිබියානු දූපත්වල, මධ්‍යම ඇමෙරිකාවේ, මෙක්සිකෝවේ මුහුදු වෙරළාශ්‍රිතව සහ මුහුදට නුදුරින් වගුරුවල මෙම ගස් බහුලව දකින්න ලැබෙන්නේ කඩොලාන ගස් ද සමඟය. ‘මැන්චිනෙලා’ ගසක් අඩි 50 ක් පමණ උසට වැඩෙයි.

‘මැන්චිනෙලා’ ගසේ ගෙඩිය කුඩාය. කොළ පැහැතිය. බැලූ බැල්මට එය කුඩා ප්‍රමාණයේ ඇපල් ගෙඩියක් වැනිය. එහෙයින්, ‘මැන්චිනෙලා’ පුංචි ඇපල් යන නමින් ද හැඳින්වෙයි. මෙම ගෙඩි ආහාරයට ගැනීමෙන් වළකින්නැයි පැවැසෙන්නේ ද අතීතයේ බොහෝ දෙනකු ඇපල් ගෙඩියේ පෙනුම ඇති නිසා රස පලතුරක් යැයි ආහාරයට ගෙන ඇති බැවිනි. කෙසේ නමුත් මෑත කාලයේ කිසිවකුවත් ‘මැන්චිනෙලා’ ගෙඩි ආහරයට ගෙන මියගිය බව වාර්තා වී නැත. ඒ, ‘මැන්චිනෙලා’ ගස ගැන හොඳින් දැනුවත් කර ඇති නිසාය.‘මැන්චිනෙලා’ ගෙඩි කෑමට ගනිද්දී, මුලින්ම දැනෙන්නේ මිහිරි රසයකි. මදවේලාවකින් ගෙඩිය සපන තැනැත්තාට අමුත්තක් දැනෙන්න ගනී. සැර ගතියකි. එම සැර ගතිය වැඩි වෙන්න ගනී. එය මිරිස් කනවා හා සමාන යැයි පැවැසෙයි. සැරට ඇස්වලින් කඳුළු ගලයි. උගුර සිරවෙන්න පටන් ගනී. ආමාශයට ගෙඩියේ කැබලි යද්දී, ගෙඩියේ විස සහ ආමාශයේ විස හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවෙයි. හුස්ම ගැනීමට අපහසු වෙයි.

‘මැන්චිනෙලා’ ගසේ කඳ රතු සහ අළු පැහැයක් ගනී. ‘මැන්චිනෙලා’ පත්‍ර දීප්තිමක් කොළ පැහැයක් ගන්නා අතර, මල් කහ මිශ්‍ර කොළ පැහැයක් ගනී.ඇසට ප්‍රිය කරන පෙනුමක් තිබුණත්, මාරක විෂ සහිත ගසකි. ගසේ සෑම කොටසකම විෂය.ෆ්ලොරීඩාවේත්, මධ්‍යම සහ ලතින් ඇමෙරිකාවේත් මුහුදු වෙරළ තීරයේ මෙම ගස් ඇතිනම්, ඒවායේ ඇති අනතුරුදායක බව පවසමින්, අනතුරු ඇඟවීමේ පුවරු සවි කර ඇත. ‘අවවාදයයි. මෙම ‘මැන්චිනෙලා’  ගසේ ගෙඩි ආහාරයට ගැනීමෙන් වළකින්න. ඒවා උග්‍ර විෂය. වැස්ස වෙලාවට ගස යට රැඳී සිටීමෙන් වළකින්න’ යැයි එම පුවරුවල සඳහන් වෙයි.

‘මැන්චිනෙලා’ අප රටේ දකින්න ලැබෙන කදුරු ගස්වලට සමානය. නමුත් කදුරු පවුලට අයත් නොවෙයි. කදුරු ගස්වල මෙන් ‘මැන්චිනෙලා’ ගසෙන් කිරි වෑහෙයි. ඒවා ද සිරුරේ තැවරීම ද බිහිසුණු ප්‍රතිඵල අත්කර දෙයි. වැස්සකදී ගස යට සිටින්න එපා යැයි අනතුරු අඟවා ඇත්තේ එහෙයිනි. ‘මැන්චිනෙලා’ ගස ගිනි තැබීම ද ඉතා අනතුරුදායකය. දුම් ඇස්වල තැවරුණොත් ඇස්වලට හානි වෙයි. ස්පාඤ්ඤ බසින් මෙම ගස හැඳින්වෙන්නේ ‘මැන්චිනෙලා දෙලා මුවර්තේ’ යනුවෙනි. එහි අර්ථය ‘මරණයේ පුංචි ඇපල් ගෙඩිය’ යනුවෙනි.

අප ශ්‍රී ලංකාවේ දකින්න ලැබෙන විස ශාක වර්ග අතරට කදුරු ද අයත් වෙයි. ශ්‍රී ලංකාවේ කදුරු වර්ග තුනකි. සර්ප විෂ නැසීම ආදී වෙද හෙදකම් වලට යොදාගත්තද කදුරු විෂය. අප රටේ දකින්න ලැබෙන කදුරු විශේෂ 3 වන්නේ දිවි කදුරු, ගොඩ කදුරු සහ වෙල් කදුරු ය. ‘මැන්චිනෙලා’ සේම, දිවි කදුරු ශාකයම විෂය.දිවි කදුරු ශරීරගත වුවහොත් සිහිමද ගතිය බඩ විරේක වීම, නිදිමත, නාඩි වැටීම වේගවත් වීම ආදිය සිදුවෙයි. ස්ටි්‍රක්නයින් සහ බෘසින් වැනි විෂ ගොඩ කදුරුවල අන්තර්ගතය. ස්ටි්‍රක්නයින් සහ බෘසින් භයානක විෂ වර්ගය. ගොඩ කදුරුඇට 2,3ක් වැනි සුලු ප්‍රමාණයක් ශරීරගත වීමෙන් පවා මරණය සිදුවිය හැකිය. ස්නායු පද්ධතියට හානි වීම, ශරීර උෂ්ණත්වය ඉහළ යෑම, වකුගඩු අක්‍රියවීම ආදියට ලක්වීමෙන් ඉතාම වේදනාත්මක මරණයක් අත්වෙයි. වෙල් කදුරු යනු අතීතයේ පටන් වෙස් මුහුණු සෑදීම සඳහා වඩාත්ම ප්‍රචලිතව යොදා ගන්නා ශාකයකි. වෙස් මුහුණු සඳහා යොදා ගන්නේ වෙල් කදුරු ගසේ ලී ය. වෙල් කදුරු ගෙඩි ඉතා විෂ සහිතය. ආහාරයට ගැනීමෙන් කරකැවිල්ල, වමනය, බඬේ අමාරුව සහ පාචනය ඇතිවෙයි.

‘ද සන්’ ඇසුරිනි

 


RECOMMEND POSTS