වැසිකිළියක් නෑ: බිරිඳක් දික්කසාදය ඉල්ලයි



නිවසේ වැසිකිළියක් තැනීම ප්‍රතික්ෂේප කළේ යැයි මැසිවිලි නගමින්, සැමියාගේන් දික්කසාද වීමට අවසර ඉල්ලූ තරුණියකට අවසර ලබා දීමට ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් නුවර අධිකරණයක් තීන්දු කර ඇතැයි එරට පුවත් සේවා ඊයේ (22) වාර්තා කළේය.

වැසිකිළි අර්බුදය නිසා දික්කසාද වීමට තීරණය කර ඇත්තේ රාජස්ථාන් ප්‍රාන්තයේ තරුණියකි. ඇය දික්කසාදය ඉල්ලා අධිකරණයේ පිහිට පතා ඇත්තේ 2015 වසරේදීය. මෙම තරුණිය විවාහ වී වසර 5 කි. තරුණිය සහ ඇගේ පවුලේ අය වැසිකිළි භාවිතයට හුරු පුරුදු වී ඇත. ඇය විවාහ වූ පුද්ගලයා රාජස්ථාන ගම්මානයක තරුණයකු වන අතර ඔහු වැසිකිළි පාවිච්චියට හුරු වී නැත. එම තරුණයා පමණක් නොව, ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයන් සහ ගම්මානයේ වැසියන් ද වැසිකිළි භාවිතයට නොගන්නා බව ද වාර්තා වේ.

ශරීරකෘත්‍යය කිරීම සඳහා එළිමහනට යන ලෙසත්, තම සැමියා තමා බලෙන්ම පෙළඹවූ බවත් තරුණිය අධිකරණය හමුවේ පවසා ඇත.

‘දුම් වැටි, මත්පැන්, ජංගම දුරකතන සඳහා හිතේ හැටියට මුදල් වියදම් කරනවා. ඒත් සනීපාරක්ෂාව ගැන සිතා හෝ කාන්තාවනගේ ගරුත්වය ගැන සිතා හෝ වැසිකිළියක් හදා ගන්න පිටිසර ගම්මානවල බොහෝ සැමියන් මැලිවෙනවා. ඒක කනගාටුවට කරුණක්’ යැයි තීන්දුව ලබා දෙමින් විනිසුරු රාජේන්ද්‍ර කුමාර් ෂර්මා පැවැසුවේ යැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටී.

පසුගිය වසරේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ තරුණියක ද ඇගේ විවාහ ගිවිසගෙන සිටි තරුණයා අත්හැර දැම්මේය. ඒ, ඇය වෙනුවෙන් වැසිකිළියක් නිවසේ ඉදි කිරීමට ඔහු මැලි වුණු නිසා යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ඉන්දියාවේ ‘ටොයිලට්: ඒක් ප්‍රේම් කතා’ නමින් චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙයි. නව බිරිඳ වෙනුවෙන් ගමේ වැසිකිළියක් ඉදි කිරීමට තරුණයකු කටයුතු කිරීමේ සන්සිද්ධියක් මෙම චිත්‍රපටයට තේමා වී ඇත. එහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ බොලිවුඞ් සුපිරි නළු ආක්ෂේ කුමාර් සහ නවක නිළියක වන භූමි පෙඞ්නෙකාර්ය.

සමාජීය අර්බුදයක් සාකච්ඡාවට ලක් වන මෙම චිත්‍රපටය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පවා පැසැසුමට පවා ලක් වී ඇත.

ඉන්දියානුවන් බොහෝ දෙනා වැසිකිලි පාවිච්චි නොකරන අතර  එය සෞඛ්‍ය ගැටලු රැසකට හේතුවක් වී තිබේ. නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව, ඉන්දියාවේ ගම්බද පළාත්වල සියයට 60 ක් සහ නාගරික පළාත්වල සියයට 10 කට වැඩි පිරිසක් වැසිකිලි පාවිච්චි නොකරන බව ද පැවැසෙයි.

වැසිකිළි භාවිතා නොකරන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ එළිමහනේ නිදහසේ මළමුත්‍රා පහ කිරීම සුව පහසු ක්‍රියාවලියක් කියාය. සනීපාරක්ෂණය සම්බන්ධයෙන් කොතරම් දැනුම්වත් කළත් මෙවැනි  ආකල්ප වෙනස් කිරීම ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ට ගැටලුවක් වී ඇති බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS