මළවුන් සැමරුමේ තෙරපීම



ඔක්තෝබර් 31 වැනිදා හැලොවීන් සැමරුම් දිනයයි. මළවුන් සිහි කිරීමේ දිනයයි. හැලොවීන් බටහිර වැසියන් අතරේ ප්‍රකට සැමරුම් උත්සවයකි. හොල්මන් අවතාර, විදියටත්, ලේ උරාබාන වැම්පයරයන්, පිසාචයන්, මායාකාරියන් විදියටත් විකට විකාර ඇඳුමින් සැරසෙමින් බටහිර රටවල ලොකු කුඩා කවුරුත් හැලොවීන් සැමරුම් උත්සවවලට සහභගී වෙන්නේ විනෝදය වෙනුවෙනි. ඇමෙරිකාවේ හැලොවීන් දිනය යෙදී ඇත්තේ සෑම ඔක්තෝබර් 31 වැනිදාටය. අද වනවිට බටහිර නොවන රටවල ද හැලොවීන් ජනප්‍රියය. දකුණු කොරියාවේ ද හැලොවීන් සැමරෙයි.

පසුගිය 30 වැනිදා සෙනසුරාදා දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහනේ, අවුරුදු 20 ට අඩු නව යොවුන් වියේ තරුණ තරුණියන් ලක්ෂයකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් හැලොවීන් සැමරුමක් ආරම්භ විය. ‘කොවිඩ් 19’ වසංගතය සහ පනවා තිබුණු සෞඛ්‍ය නීතිරීති හේතුවෙන්, පසුගිය වසරවල හැලොවීන් සැමරුම්පමණක් නොව වෙනත් කිසිදු උත්සවයක් සංවිධානය නොවිණි. ඒත් මුහුණු ආවරණ සම්බන්ධයෙන් සහ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් පැනැවූ නිතීරිතී දකුණු කොරියානු සෞඛ්‍ය අංශ සහ රජය ඉවතක් කළේ පසුගිය අප්‍රේල් මාසයේය. ඒ අනුව, පසුගිය 30 වැනිදා රාත්‍රියේ හැලොවීන් සැමරුම් උත්සවයක් සංවිධානය විය. මුහුණු ආවරණ නොමැතිව, එකිනෙකාට ළංවී, තරුණ තරුණියෝ සැමරුමට එක් වූයේ මහත් උනන්දුවකිනි. ‘කොවිඩ් 19’ වසංගතයට පෙර පැවැති හැලොවීන් සැමරුම් මෙන් නොව, මෙවර සැමරුමට තෙගුණයක පමණ පිරිසක් පැමිණි අතර යොදවා සිටි පොලිස් නිලධාරීන්ට එම පිරිස පාලනය කිරීමට නොහැකි විය.

සැමරුම පැවැත්වූයේ සෝල් අගනුවර ඊටායිවාන් දිස්ත්‍රික්කයේ පටු වීදියකය. ඊටායිවාන් දිස්ත්‍රික්කය පණ ලබන්නේ රාත්‍රියටය. රාත්‍රී සමාජ ශාලා, අවන්හල්, තැබෑරුම්වලින් පිරි මෙම දිස්ත්‍රික්කය විදේශිකයන් අතරේ පවා ප්‍රකටය. රාත්‍රී 10.30 පමණ වනවිට, මීටර් 3 ක් පමණක් පළලැති එම පටු වීදිය අතුරු සිදුරු නොමැතිව පිරී ගොස් තිබුණි. හිටිහැටියේ පිරිස අතරින් එකා දෙන්නා සිහිසුන්ව ඇද වැටෙන්න විය. එය නොසන්සුන්තාවක් නිර්මාණය කිරීමට හේතුවක් විය. බියත් සමඟ කලබලයක් ඇතිවිය. කලබලය විශාල තෙරපීමක් ඇති කළේය. කෑ මොරදීම් මැද සිරවී, තැලී පොඩිවී, තුවාල ලබා බිම ඇද වැටී පෑගුණු බොහෝ දෙනෙක් එම ස්ථානයේ දීම අවසන් සුසුම් හෙලූහ. පටු වීදිය එකම ලේ විලක් විය.

කෑ මොර දීම් අවසන් වෙද්දී, මළවුන් සමරමින් පැවැත්වුණු හැලොවීන් සැමරුම ජීවිත 154 ක් බිලි ගෙන තිබුණි. තුවාල ලබා රෝහල්ත කළ ගණන 149 කි. මියගිය වැඩිදෙනා අවුරුදු 20 ට අඩු නව යොවුන් වියේ තරුණ තරුණියන්ය. ඔවුන්ගෙන් ද වැඩි දෙනා තරුනියන්ය. එය සැබැවින්ම ඛේදවාචකයක් විය. දකුණු කොරියාවෙන් මෙවැනි ඛේදවාචකයකන් මීට පෙර අසන්න ලැබුණේ 2014 දීය. ඒ සිදුවුණු මගී පාරු අනතුරකිනි. එයින් 304 ක් ජීවිතක්ෂයට පත්වුණු අතර වැඩි දෙනා පාසල් දරු දැරියන්ය.

හැලොවීන් සැමරුමේ තෙරපීමේ සිද්ධිය අවසන්න ලැබීමෙන් තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් ඉයෝල් පැවැසීය. ජනාධිපතිවරයා කඩිනමින් කාර්ය සාධක බලකායක් පිහිටවූයේ විපතට පත්වූවන්ට පිහිට වීමට පමණක් නොව, තෙරපීම හටගත්තේ කෙසේදැයි යන්න සොයා බැලීමටය. තෙරපීම සිදුවුණු ස්ථානයට යෑමට පවා ජනාධිපතිවරයා කටයුතු කළේය. ජාතික ශෝක කාලයක් ද ප්‍රකාශය කළේය. මියගිය සියලු දෙනාට සිය ශෝකය පළ කරමින්, තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කළේය. “මේක ඇත්තටම ඛේදවාචකයක්. සෝල් නුවර හදවතේ මෙවැන්නක් සිදුවීම ගැන කනගාටුයි. මෙවැන්නක් සිදු නොවන්නයි තිබුණේ” යැයි ද දකුණු කොරියානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පැවැසුවේය.

මියගිය 154 දෙනා අතර විදේශිකයන් 19 දෙනකු සිටි බව යොන්ග්සැන් ගිනි නිවන ඒකකයේ ප්‍රධානී චෝයි සන් බියෝම් මාධ්‍ය හමුවේ පැවැසීය. තෙරපීමක් හටගත් බව පොලිසිය නිවේදනය කළ සැණින්, ගිනි නිවන භටයන්, ජීවිතාරක්ෂක නිලධාරීන් සහ වෛද්‍ය සහායකයන් වහා එම ස්ථානයට ගොස් තිබුණි.  මියගිය විදේශිකයන් අතර ඇමෙරිකන්, චීන, ඉරාන, උස්බෙකිස්තාන සහ නෝර්වේ ජාතිකයන් සිටින බව දකුණු කොරියානු විදේශ අමත්‍යාංශය පසුව නිවේදනය කළේය.

සෝල් හැලොවීන් සැමරුමේ දී හටගත් තෙරපීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකික තරුණයකු සිටින බව ද දැනගන්න ලැබුණි. මියගියේ උඩතලවින්න, මඩිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි මුනව්වර් මුහම්මඩ් ය. තෙරපී, හුස්ම හිරවී, මියගිය විදේශිකයන් අතරේ ඇමෙරිකන් සරසවි සිසුවියක ද සිටින බව වාර්තා විය. ඇය ජිසෙක් ය. ජිසෙක්, ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ පාර්ලිමේන්තු සභික රිපබ්ලිකන් පාක්ෂික බ්‍රැඩ් වෙන්ස්ට්‍රප්ගේ ඥාති දියණියයි. ජිසෙක් හෙද සිසුවියකි. ඇය දකුණු කොරියාවට ගොස් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. මීට අමතරව, දකුණු කොරියාවේ ජනප්‍රිය යොවුන් ගායකයකු සහ රංගන ශිල්පියකු ද වන ලී ජිහාන් ද ජීවිතක්ෂයට පත්විය.

සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට ජනාධිපති යූන් සුක් ඉයෝල් පත් කළ කාර්ය සාධක බලකායට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සාමාජිකයන් 475 දෙනෙක් සම්බන්ධ වී සිටිති. 30 වැනිදා රාත්‍රියේ තෙරපීම සිදුවූයේ කෙසේදැයි සොයා බැලීමට ඔවුන් රූපවාහිනී නාළිකාවලින් ලබා ගත් දසුන් සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කර ඇති දසුන් අධ්‍යයනය කිරීම ආරම්භ කළ බව වාර්තා විය. තෙරපීම සිදුවූයේ තමන්ට නිසි ලෙස පිරිස පාලනය කර ගැනීමට නොහැකි වුණු නිසා බවත්, එය තමන් අතින් සිදුවුනු වරදක් බව පිළිගන්නා බවත් සෝල් පොලිසිය පවසා ඇත.

සී.එන්.එන්. ඇසුරිනි


RECOMMEND POSTS