පා පන්දු ක්‍රීඩාංගනයේ තෙරපීම



ලොව ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දුය. පසුගිය දා ඉන්දුනීසියාවෙන් ඛේදනීය පුවතක් වාර්තා විය. ඒ, පාපන්දු තරගයක් අවසානයේ, පාපන්දු ක්‍රීඩංගනයක සිදුවුණු තෙරපීමකින් 174 දෙනෙකු මියයෑම සහ 200 කට වැඩි පිරිසක් තුවාල ලැබීමය. මියගිය පිරිස අතරේ කුඩා දරුවෝ ද සිටියහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෝක ඉතිහාසයේ ක්‍රීඩංගනයක මෙවැනි ඛේදවාචකයක් සිදුවුණු පළමු අවස්ථාව මෙය බවය.

අග්නිදිග ආසියාවට අයත් ඉන්දුනීසියාව ද පාපන්දු ලෝලීන්ගෙන් පිරුණු රටකි. ඉන්දුනීසියාවේ ‘ප්‍රිමියර් ලීග්’ පාපන්දු තරගාවලිය ආරම්භ වී තිබුණේ ක්‍රිඩාලෝලීන් අමන්දානන්දයට පත් කරමිණි. ඉන්දුනීසියාවේ ජනප්‍රිය, දක්ෂ පාපන්දු සමාජ ඊට ඉදිරිපත් වී සිටියේය.

තෙරපීම සිදුවූයේ නැගෙනහිර ජාවා ප්‍රාන්තයේ, මලංග් නගරයේ, කංජුරුහාන් ක්‍රීඩාංගනයේය.පාපන්දු තරගය පැවැත්වූයේ මලංග් නගරය නියෝජනය කරන ‘අරේමා මලංග්’ කණ්ඩායම සහ ‘පර්සේබයා සුරාබායා’ කණ්ඩාම අතරේය. 38,000 කට පමණක් ඉඩකඩ ඇති කංජුරුහාන් ක්‍රීඩංගනයට රැස්ව සිටි පාපන්දු ලෝලීන් ගණන 42,000 කට වැඩි බව පසුව දැනගන්න ලැබුණි. ප්‍රවේශපත් සියල්ල අලෙවි වී අවසන් වී තිබුණි.

ක්‍රීඩංගනයට රැස්වුණු සියලුම දෙනා ‘අරේමා මලංග්’ කණ්ඩායමට සහාය දක්වන්න ආ ක්‍රීඩාලෝලීන් විය. ගැටුම් ඇතිවේවි යැයි බියෙන්, ආගන්තුක ‘පර්සේබයා සුරාබායා’ කණ්ඩායමේ ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගනයට පැමිණීමෙන් වළකින්නැයි කල්තියා දැනුම් දී තිබුණි. ඒ අනුව පාපන්දු තරගය රාත්‍රී 8 ට ආරම්භ විය. ‘අරේමා මලංග්’ ක්‍රීඩාලෝලීන් නොසතුටට පත් කරමින්, ඔවුන් නොසන්සුන් කරමින්, තුනට දෙකක් ලෙස ‘අරේමා මලංග්’ කණ්ඩායම, ‘පර්සේබයා සුරාබායා’ හමුවේ පරාජයට පත් විය. 10.45 ට තරගය අවසන් වෙද්දී, පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩාලෝලීහු නොසන්සුන් වී, ප්‍රකෝපකාරී ලෙස හැසිරෙන්න පටන් ගත්හ.

‘පර්සේබයා සුරාබායා’ කණ්ඩායම ජයගත් බවත්, තරගය අවසන් බවත් පවසද්දීත්, ‘අරේමා මලංග්’ කණ්ඩායමේ ක්‍රීඩාලෝලීහු පිටිය මැදට කඩා වැදී කලහ කරන්න පටන් ගත්හ. ඔවුහු බෝතල්වලින් පමණක් නොව අත තිබූ සෑම දෙයකින් ම ‘අරේමා මලංග්’ ක්‍රීඩකයන්ට පහර දෙන්න වූහ. පාපන්දු නිලධාරීන්ට පහර දෙන්න වූහ. ක්‍රීඩා පිටියෙන් ආරම්භ වුණු ප්‍රචණ්ඩ ක්‍රියා, ක්‍රීඩාංගනයෙන් පිටතටපැතිර ගියේ ළැව් ගින්නක් මෙනි. කලහකාරිහු ක්‍රීඩාංගනය පිටත නවතා තිබුණු මෝටර් රථවලට පහර දෙන්න වුහ. ගිනි තබන්න වූහ.

කලබලයක් වේවි යැයි කල් තියා සූදානමින් සිටි පොලිස් කැරැලි මර්දන කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී කලහකාරී පිරිස් මර්දනයට උත්සාහ ගනිද්දී ගැටුම් උත්සන්න විය. කෝපයට පත් ක්‍රීඩා ලෝලීහු පොලිස් රථවලට පහර දෙමින්, ගිනි තබන්න වූහ. පොලිස් රථ පහක් ගිනිබත් වී විනාශ වූ බව පසුව දැනගන්න ලැබුණි. ක්‍රීඩාංගනයට බරපතල හානි සිදුවිය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නීතිරීති අනුව, පාපන්දු ක්‍රීඩාංගනවල ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන්ට කඳුළු ගෑස් ළඟ තබා ගැනීම තහනම්ය. එහෙත්, කලහකාරීන් විසිරුවා හැරීමට, ක්‍රීඩංගානයේ සිටි පොලිස් නිලධාරීන් කඳුළු ගෑස්වලින් පහර දෙන්න විය. කලබලයත් සමඟ තෙරපීම හටගත්තේ මෙම අවස්ථාවේදීය. නරඹන්නන් එකිනෙකා පෙරළා ගනිමින් පොලිසියෙන් බේරී දුවන්න පටන් ගත්තේය. වැටී, පෑගී හුස්ම සිරවීමෙන් බොහෝ දෙනෙක් එම ස්ථානයේම මියගියහ. තවත් බොහෝ දෙනකු මියගියේ රෝහල්ගත කිරීමෙන් පසුවය. මියගිය වැඩි දෙනා තරුණයන්ය.

කංජුරුහාන් ක්‍රීඩංගනයේ තෙරපීම ලොවම කම්පා කළේය. විදෙස් පුවත් සේවාවල ප්‍රමුඛ පුවත බවට පත් විය. සිද්ධිය සැලවීමෙන් මහත් සේ කම්පනයට පත්වුණු ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ අණ දුන්නේ කඩිනමින් විමර්ශනයක් පවත්වා සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමටය. විමර්ශන කටයුතු අවසන් වනතුරු කිසිදු පාන්දු තරගයක් නොපැවැත්වීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. “ඉන්දුනීසියාවේ යළි කිසිම දිනෙක මෙවැනි ඛේදවාචකයක් වෙන්න ඉඩ තියන්න එපා” යැයි ජනාධිපතිවරයා ඉන්දුනීසියානු පාපන්දු බලධාරීන්ට සහ පොලිස් ප්‍රධානීන්ට පැහැදිලි කළේය.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට විශේෂ කණ්ඩායමක් ඉන්දුනීසියාවට යැවීය. ඉන්දුනීසියානු පාපන්දු ක්‍රීඩාංගනයේ සිදුවුණු තෙරපීම සහ ඒ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්වුණු බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆන්ටිනෝ පැවැසුවේය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ඉන්දුනීසියානු රජයට පෙන්වා දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, නිතී විරෝධී අයුරින් කටයුතු කළ සියලු පාර්ශ්වයන්ට දඩුවම් කළ යුතු බවය.

අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS