ග්‍රීන්ලන්තය කොරෝනා පරාජය කළ හැටි



ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක කිරුළට යටත් ස්වයං පාලන දූපත් රාජ්‍යයකි. ලොව විශාලතම දූපත ලෙස ද ග්‍රීන්ලන්තය සැලකෙයි. ආක්ටික් සහ ඇත්ලාන්තික් සාගරයේ පිහිටයි. ග්‍රින්ලන්තය සැලකෙන්නේ උතුරු ඇමෙරිකාවේ කොටසක් ලෙසය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය, පසුගිය 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට ඉතා වේගයෙන් චීනය පුරා ව්‍යාප්තවීමට පටන් ගත්තේය.

පොකුරු පිටින් වයිරස ආසාදිතයන් හමුවෙද්දී, මෙම නව වයිරසය ගැන විමසිලිමත් වන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කළේය. ඒ, 2020 වසරේ ජනවාරි 12 වැනිදාය.

‘කොවිඞ් 19’ වයිරසය 2003 වසරේ වසංගතයක් වූ ‘සර්ස්’ වයිරසයට සමාන විය. ‘සර්ස්’ වයිරසයේ මරණ අනුපාතය ඉහළ අගයක් ගත්තේය. ‘කොවිඞ් 19’ වයිරසයේ විශේෂත්වය එය ඉතා දරුණු අන්දමින් වේගයෙන් පැතිරීමය. ‘සර්ස්’ ද කොරෝනා වයිරස පවුලට අයත් වයිරසයකි. එය ආරම්භ වූයේ ද චීනයෙනි.

ග්‍රීන්ලන්තයෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා වාර්තා වූයේ මාර්තු 16 වැනිදාය. ආසාදිතයා ‘නූක්’ අගනුවර වැසියෙකි.

සෞඛ්‍ය බලධාරීන් වහා ක්‍රියාත්මක වී, එම ආසාදිතයා සිය නිවසේ නිරෝධායනයට කළ අතර, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නිවසට පැමිණ ලබා දෙන්න විය.

වයිරසයේ බලපෑම ග්‍රීන්ලන්තයට ද එල්ල වී ඇති බවත්, ග්‍රීන්ලන්ත වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය පියවර රැසක් ගන්නා බවත් අග්‍රාමාත්‍ය කිම් කියෙල්සෙන් පැවැසුවේය.

අත්‍යාවශ්‍ය නොවන සියලු ගුවන් ගමන් නවතා දැමීම ඒ අනුව සිදුවිය. රට අභ්‍යන්තර ගුවන් ගමන් ද නැවැතුණි. ජනතාව රැස්වීමෙන් සහ ජනතාව රැස්වන පොදු ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්නැයි රජය උපදෙස් දුන්නේය.

අසනීප තත්ත්වයක් ඇති නම් නිවසේ නිරෝධායනය වෙන්නැයි ජනතාව දැනුවත් කරන ලදී. ඒ අනුව, සති දෙකක් ග්‍රීන්ලන්තයේ සියලු වැසියන්ට නිවෙස්වල නිරෝධායනය වීමට සිදුවිය.

මාර්තු 28 වැනිදා මත්පැන් අලෙවිය නැවැත්වීමට රජය තීරණය කළේය. පැනැවූ එම තහංචිය ලබන 15 වැනිදා තෙක් ක්‍රියාත්මක වෙයි. ඒ වනවිට ‘කොවිඞ් 19’ ආසාදිතයන් 11 දෙනකු ග්‍රීන්ලන්තයෙන් වාර්තා විය. එම 11 දෙනාට ප්‍රතිකාර කිරීම නිවෙස්වලදී සිදුවිය.

ඊයේ (9)  වනවිට ග්‍රීන්ලන්තයෙන් හමුවුණු ආසාදිතයන් 11 දෙනා සම්පූර්ණයෙන් සුවය ලැබූ බව වාර්තා විය.

ආසාදිතයන් සියල්ල හමුවූයේ නූක් අගනුවරින් පමණය. වයිරසය සෙසු පළාත්වලට ව්‍යාප්තවීම වැළැකී ගියේ රජයේ නිරෝධායන ක්‍රමවේද සාර්ථක වූ බැවිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS