ගගනගාමීන්ගේ ආසන මාරුව



කෝටිපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම, ගගන කටයුතු සඳහා ඇමෙරිකා ‘නාසා’ ආයතතනය සමඟ අත්වැල් බැඳගෙන සිටී. පසුගිය දා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘කෲව්5’ මෙහෙයුම ආරම්භ විය. ගගනගාමීහු සිවු දෙනෙක්, එම මෙහෙයුම යටතේ ‘ස්පේස් එක්ස් ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයේ ආධාරයෙන්, කිලෝ මීටර් 408 ක්  ඉහළ පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත්ව ගියහ. ඔවුහු සිවු දෙනා මේ වනවිට අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඔවුන්ට අදාල රාජකාරිවල නියැළෙමින් සිටිති.

‘නාසා’ ආයතනය සහ ‘ස්පේස් එක්ස්’ සමාගම එක් වී ගගන මෙහෙයුම් ආරම්භ කළේ 2020 මැයි මාසයේ සිටය. එහෙයින්, ‘ස්පේස් එක්ස්’ සමාගම, ‘ෆෝල්කන් 9’ රොකට්ටුවක ආධාරයෙන්, ‘ස්පේස් එක්ස් ඩ්‍රැගන්’ ගගන කැප්සියුලයක් අභ්‍යවකාශයට යැවීම අලුත් දෙයක් නොවෙයි. ඒත් මෙම ‘කෲව්5’ මෙහෙයුම සුවිශේෂී එකකි. ඒ, ඊට සහභාගී වන ගගනගාමිනියන් දෙදෙනකු නිසාය. මෙම ගගනගාමිනියන් දෙදෙනා ඇනා කිකිනා සහ නිකෝල් ඔනාපු මෑන් ය.

38 හැවිරිදි ඇනා කිකිනා, රුසියන් ගගනගාමිනියකි. ඇය නියෝජනය කරන්නේ ‘රොස්කොස්මොස්’ හෙවත් රුසියන් අභ්‍යවකාශ ආයතනයයි. ඒ අනුව, රුසියන් ගගනගාමිනියක 2002 වසරෙන් පසු, ඇමෙරිකාවට ගොස්, නාසා ආයතනය යටතේ, ඇමෙරිකන් අභ්‍යවකාශ යානයක නැගී අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු අවස්ථාව මෙය වනු ඇත. ඇනා කිකිනා රුසියන් ගගනගාමිනියක නම් ඇය ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ උඩු ගුවනට ගියේ කෙසේද? යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින් මේ වනවිට ඇමෙරිකාවත් රුසියාවත් අතර අර්බුදයක් පවතිනවා නොවේද?

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියාව, යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සංවිධානයට හිතවත්වීම සහ ‘නේටෝ’ සාමාජික රාජ්‍යයක් වීමය. ‘නේටෝ’ යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. මෙය යුද සංවිධානයකි. ඇමෙරිකාව, කැනඩාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී, නේටෝ ව පිහිටුවා ගෙන ඇත්තේ ද රුසියාවේ තර්ජන හමුවේ භට මුහුණ දීමටය. ඒ අනුව, රුසියාවේ සමීපතම අසල්වැසියා වන යුක්රේනය නේටෝ සාමාජිකයකු වීමට උත්සාහ ගැනීම රුසියාවට තර්ජනයක් විය. පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ ඒ නිසාය. අද වනවිට, නැගෙනහිර සහ දකුණු යුක්රේනයේ පළාත් සහ නගර යටත් කර ගැනීමට රුසියාව සමත් වී සිටී.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ පෘථිවි කක්ෂයේ ඉදි කරද්දී, මූලිකත්වය ගෙන කටයුතු කළේ ඇමෙරිකාව සහ රුසියාවය. අද වනවිට ලෝකයේ රටවල් රැසක් නැවැතුම්පොළ සමඟ සම්බන්ධ වී සිටී. දේශපාලනික වශයෙන් මත ගැටුම් පැවැතියත්, වෙන කුමන් අර්බුද පැවැතියත්, ‘නාසා’ ආයතනය සහ ‘රොස්කොස්මොස්’ ආයතනය අතර, මිතුදම්වලට එය බාධායක් වී නැත. යුක්රේන යුද්ධය හමුවේ පවා එම මිතුදම් වෙනස් වී ද නැත. අභ්‍යවකාශ ගමන් බිමන් සම්බන්ධයෙන්, ‘නාසා’ සහ ‘රොස්කොස්මොස්’ අතරේ ගිවිසුම් පවතී.

පසුගිය ජූලි මාසයේ ‘රොස්කොස්මොස්’ ආයතනය, සෝයූස්’ ගගන කැප්සියුලයක්, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙත යැවීය. ‘සෝයූස්’ ගගන කැප්සියුලයේ ඉඩ ඇත්තේ ගගනගාමීන් තිදෙනකුට පමණි. ‘නාසා’ සහ ‘රොස්කොස්මොස්’ අතරේ ඇති ගිවිසුම් අනුව, එදා එක් අසුනක් ඇමෙරිකන් නාසා ගගනගාමියකුට හිමිවිය. ආසනය හිමිවූයේ නාසා ගගනගාමී ෆ්‍රැන්සිස්කෝ රුබියෝටය. ඔහු රුසියාවට ගොස්, ‘සෝයූස්’ මෙහෙයුම යටතේ අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේය. එදා නාසා ගගනගාමී රුබියෝ ට හිමිවූයේ ඇනා කිකිනාගේ අසුනය.

පසුගිය ඔක්තෝබර් 4 වැනිදා අඩි 2015 ක් උස ‘ෆෝල්කන් 9’ අධි බලැති රොකට්ටුව, ඊට අයත් ප්‍රබල ‘මර්ලීන්’ නමැති ඇන්ජින් 9 දල්වා, රාත්තල් මිලියන 1.7 ක තෙරපුමකින්, අභ්‍යවකාශය බලා පිටත් වූයේ ඇමෙරිකාවේ වේලාවෙන් 12.01 ටය. ගගනගාමිනියන් සිවු දෙනා අසුන් ගෙන සිටියේ රොකට්ටුවේ ඉහළ කොටසට සම්බන්ධ ‘ඩ්‍රැගන්’ කැප්සියුලයේය. පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී, උඩු ගුවන බලා යද්දී, රොකට්ටුවේ කොටස් එකිනෙක අත්ලාන්තික් සාගරයට වැටුණි. අවසානයේ ‘ඩ්‍රැගන්’ කැප්සියුලය කාන්තාවන් ද රැගෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙත ගොස් ඊට සම්බන්ධ විය. සාගරයට වැටුණු රොකට්ටුවේ කොටස් යළි එකලැස් කර භාවිතයට ගැනීම සිදුවෙයි. ගගනගාමීන් ආපසු පැමිණෙනු ඇත්තේ ද අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වී ඇති ‘ඩ්‍රැගන්’ කැප්සියුලය ආධාරයෙනි. සාමාන්‍යයෙන්, මාස 6 කට සැරයක් මාරුවෙන් මාරුවට ගගනගාමීහු අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටිමින් විවිධාකාරයේ පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදු කරති‍.

‘කෲ5’ කණ්ඩායමට නායකත්වය දුන්නේ නාසා ගගනගාමිනී 45 හැවිරිදි නිකෝල් ඔනාපු මැන් ය. එය සුවිශේෂී සිදුවීමකි. ‘ස්පේස් එක්ස්’ මෙහෙයුමකට නායකත්වය දුන් පළමු කාන්තාව නිකෝල් ඔනාපු මැන් ය. එපමණක් නොව, නිකෝල් ඔනාපු මැන් නියෝජනය කරන්නේ ඇමෙරිකාවේ ස්වදේශීය රතු ඉන්දියානුවන්ය. ඒ අනුව, ස්වදේශීය රතු ඉන්දියානුවකු ලෙස අභ්‍යවකාශය බලා යන පළමු කාන්තාව ලෙස ද නිකෝල් ඔනාපු මැන් ඉතිහාසගත වූවාය. ඇමෙරිකාව 2024 වසරෙන් පසු යළි සඳට ගගනගාමීන් යැවීමට සූදානම් වෙයි. පිරිමින් පමණක් නොව, කාන්තාවන් ද සඳට යැවීමට නියමිතය. මෙම චන්ද්‍ර මෙහෙයුම් නම් කර ඇත්තේ ‘ආටිමිස්’ යනුවෙනි. නාසා ආයතනය ‘ආටිමිස්’ මෙහෙයුම් යටතේ සඳට යැවීමට බලාපොරොත්තුවෙන් සිටින කාන්තා ගගනගාමීන්ගෙන් කෙනකු වන්නේ ද නිකෝල් ඔනාපු මැන් ය.

‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘කෲව්5’ මෙහෙයුමට සම්බන්ධ ඉතිරි දෙදෙනා කවුරුන්ද? ඔවුන්ගෙන් එක් ගගනගාමියකු වූයේ ‘නාසා’ ගගනගාමී ජොෂ් කැසාඩා ය. අනෙක් ගගනගාමියා ජපාන අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරන කොයිචී වකාටා ය. මොවුන් දෙදෙනා අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා පිටත් වූයේ දින 150 ක විද්‍යා පර්යේෂණ මෙහෙයුමක නියැළීමේ අරමුණින්ය. ඇමෙරිකාවේ නාසා ආයතනය සහ ජපාන අභ්‍යවකාශ ආයතනය අතරේ ද සමීප මිතුදම් පවතී. කොයිචී වකාටා අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේ එම මිතුදම් අලුත් කරමිනි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS