කොරෝනා නැති රටවල්



ලෝකයේ රටවල් කීයක් තිබෙනවාද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, ලෝකයේ රටවල් 195 කි. එයින් රටවල් 193 ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පාලන ප්‍රදේශ 56 කි. ඒ අනුව, ලෝකයේ රටවල් සහ පාලන ප්‍රදේශ ගණන 251 කි. පසුගිය 9 වැනිදා වනවිට, අප කාටත් හිසරදයක් වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය රටවල් සහ පාලන ප්‍රදේශ 200 කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර ගොස් අවසන්ය. එසේ වුවත්, ‘කොවිඞ් 19’ වයිරසයේ බලපෑමට යටත් නොවුණු රටවල් සහ පාලන ප්‍රදේශ කිහිපයකි.

‘කොවිඞ් 19’ වයිරසයේ ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවීම සිදුවූයේ, රටවල් සහ පාලන ප්‍රදේශ එකිනෙකාට විවෘතවීමය. එකිනෙකා සමඟ සමීප සබඳතා පැවැත්වීමය. ‘කොවිඞ් 19’ පමණක් නොව, වසංගත තත්ත්වයක් නොවුණත් ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු වැනි වයිරස අතීතයට වඩා වර්තමානයේ බහුලව දකින්න ලැබී ඇත්තේ මිනිසාගේ ගමන් බිමන් බහුල වීමත් සමඟය. චීනයේ අසල්වැසියකු වන්නේ උතුරු කොරියාවය. ‘කොවිඞ් 19’ ආරම්භ වූයේ චීනයෙනි.

දකුණු කොරියාව ද ‘කොවිඞ් 19’ වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වූ රටකි. කොරියානු යුද්ධයෙන් පසු උතුරු දකුණ ලෙස වෙන් වුණු කොරියාවේ සිටින්නේ එකම ජාතියකි. දේශසීමාවලින් චීනයෙන් සහ දකුණු කොරියාවෙන් වෙන් වුණු උතුරු කොරියාවෙන් තවමත් කොරෝනා ආසාදිතයන් වාර්තා වී නැත.

කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට ඇමෙරිකාවේ කැමැත්තක් නැත. එම න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව පෙන්වා දී ඇමෙරිකාව උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත්තේ වසර ගණනාවක් තිස්සේය. ඇමෙරිකාවේ කීමට අනුව යමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත.

මෙම සම්බාධක නිසා, උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී අවසන්ය. එරට සිදුවන දේ අප දන්නේ නැත. නායක කිම් ජොන් උන් ලෝකයේ අවධානය දිනා ගන්නේ මිසයිල යවමිනි. චීනයේ ‘කොවිඞ් 19’ වයිරසය දරුණු ලෙස ව්‍යාප්තවීමට පටන් ගත්තේ ජනවාරි මාසයේය. එසැණින් උතුරු කොරියානු රජය, චීනය සමඟ දේශසීමා වසා දැමීය. යොංග්යැංග් අගනුවර රැඳී සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකන්, සංචාරකයන් ආදී සැවොම ඔවුනොවුන්ගේ නිවාස සහ නවාතැන්වලට කොටු කළේය. දින 14 ක් නොව දින 21 කට වැඩි කාලයක් මෙසේ මෙම පිරිස් නිවෙස්වල රඳවනු තැබුණි. දින 21 කට පසු ඔවුන් නිදහස් කළේ වහා රටින් පිටවන්නැයි දන්වමිනි. චීන දේශසීමාව හරහා පමණක් නොව, දකුණු කොරියා දේශසීමාව හරහා ද කිසිවකුටවත් උතුරු කොරියාවට පැමිණෙන්න අවසර ලැබුණේ නැත.

උතුරු කොරියාවෙන් කොරෝනා අසාදිතයන් හමුවුණු බවත්, නිරෝධායන ක්‍රියාවලියට අදිමදි කළ ඔවුන් වෙඩි තබා මරා දැමීමට නායක කිම් ජොන් උන් අණ දුන් බවත් එක් බටහිර පුවත් වෙබ් අඩවියක සඳහන් විය. උතුරු කොරියානු හමුදාවේ ආසාදිතයන් 300 ක් සිටින බව ද එක් පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබුණි.

මේ සම්බන්ධයෙන් නිල වාර්තා කිසිවක් සඳහන් නොවෙයි.

උතුරු කොරියානු රජය සහ එරට සෞඛ්‍ය බලධාරීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දන්වා ඇත්තේ, එරට කිසිදු ‘කොවිඞ් 19’ ආසාදිතයකු නොමැති බවය. ඒ අනුව, ‘කොවිඞ් 19’ ආසාදිතයන් නොමැති රටක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාව නම් කර තිබේ.

මීට වසර කීපයකට පෙර ඉබෝලා වසංගතයෙන් බැට කෑ අප්‍රිකා මහද්වීපයේ අප්‍රිකා රටවල් රැසකට කොරෝනා වයිරසය පැතිරී ඇත. එසේ වුවත්, ලෙසෝතෝ සහ කොමොරෝස් රටවලින් තවමත් කිසිදු කොරෝනා ආසාදිතයකු හමුවී නැත. අප්‍රිකා මහද්වීපයට අයත් රටවල් අතරින් අවසන් වරට කොරෝනා ආසාදිතයන් හමුවූයේ සුඩානය සහ සියාරා ලියොන් යන රටවලිනි.

පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් ද ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසයෙන් ගැලවී සිටිනු දකින්න ලැබේ. සොලමන් දූපත්, වනවාටු එවැනි පැසිෆික් සාගරයේ පිහිටි කොරෝනා ආසාදිතයන් නොමැති දූපත් ය.

සන්නද්ධ අරගලයක් පවතින යේමනයෙන් ද මෙතෙක් ‘කොවිඞ් 19’ ආසාදිතයන් හමුවී නැත. යුද ගැටුම් හේතුවෙන් යේමනයේ සිදුවන්නේ කුමක්ද යන්න හෝ සෞඛ්‍ය සේවා කටයුතු සිදුවන්නේ කෙසේ ද යන්න හෝ ලෝකයා දන්නේ නැත. මීට අමතරව, ටර්ක්මෙනිස්තාන රාජ්‍යයෙන් සහ ඊට යාබදව පිහිටි ටජිකිස්තානයෙන් ද පසුගිය 9 වැනිදා වනවිට කිසිදු කොරෝනා වයිරස ආසාදිතයකු හමු වී තිබුණේ නැත.

රොයිටර් ඇසුරිනි


RECOMMEND POSTS