උඩ ගිය පුටින්ගේ රොබෝ
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට පය තැබූ අලුත් විදියේ අමුත්තකු ගැනයි මේ සටහන. මෙ අමුත්තා මනුෂ්‍ය රූපී රොබෝවෙකි. මනුෂ්‍ය රූපී යනු මිනිසකු වැනියි යන අර්ථයයි. ‘පර්යේෂණ සහ ඉදිරිපත් කිරීම් සබ්නද්ධ අවසන් අත්හදා බැලීම’ යන අදහස කැටි කර රොබෝ ‘ෆෙඩොර්’ යන නමින් නම් කර තිබේ.
මේ රොබෝ කෘත්‍රිම බුද්ධියක් ඇති හැමදේම තනිවම කළ හැකි රොබෝවෙක් නොවේ. රොබෝ මෙහෙයවීම සිදු කළ යුතුය. එසේ මෙහෙයවද්දී මේ මිනිස් රූපී රොබෝ දෙපයින් ගමන් කරයි. බඩ ගා යන්නටත්, ඇද වැටුණොත් යළි දෙපයින් නැගී සිටීමටත් රොබෝට හැකියාව ඇති බව පැවැසෙයි. මෝටර් රථයක අසුනක අසුන් ගැනීමට පමණක් නොව, එම අසුනින් යළි නැගිටීමට ද රොබෝට පුළුවනි. රොබෝගේ උස අඩි 6 කි. බර රාත්තල් 233 කි. රාත්තල් 44 ක බරක් දරා සිටීමට රොබෝට හැකියාව ඇති බව රුසියානු අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
රොබෝ සිදු කරන්නේ මිනිස් හැසිරීම් ‘කොපි’ කිරීමක් යැයි කීවොත් නිවැරදිය. පෘථිවියේ සිටින රුසියානු පර්යේෂකයන්ට හෝ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටි රුසියානු අජටාකාශගාමීන්ට පරිගණක සංඥා හරහා රොබෝ හැසිරවීම කළ හැකිය. අනාගතයේ දිනෙක සඳ මතුපිට ජනාවාස පිහිටුවීමේදී මෙවැනි රෙබෝවරුන්ගේ උදව් ගැනීමට රුසියානු විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.
රුසියානු අභ්‍යවකාශ ආයතනය ‘ෆෙඩොර්’ නිර්මාණය කර ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අදහසකට අනුවය. අභ්‍යවකාශ නැවැතුම්පොළට යන පළමු රොබෝ ‘ෆෙඩොර්’ නොවන බව විදෙස් පුවත් ආයතනසඳහන් කර තිබේ.
අසාර්ථක උත්සාහයකින් පසු යළිත් වරක් සෝයූස් රොකට්ටුවක සහ කැප්සියුලක ආධාරයෙන් රොබෝ අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙත යැවීම සිදුවිය. ඒ, කසක්ස්තානයේ බයිකනෝර් පිහිටි රුසියානු අභ්‍යවකාශ නැවැතුම්පොළෙන් උඩු ගුවනට විදීමෙන් පසුවය. රුසියානුවන් විසින් ‘ෆෙඩොර්’ යන නමින් හැඳින්වුවත් මෙම රොබෝ ස්කයිබොට් එෆ් 850 ලෙස නිල වශයෙන් නම් කරනු ලැබ ඇත.
ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ යනු පෘථිවි මතුපිට සිට කිලෝ මීටර් 400 ක් ඉහළින්, අභ්‍යවකාශයේ රඳවා ඇති විද්‍යා සහ තාක්ෂණ පර්යේෂණාගාරයකි. ඇමෙරිකාව ආරම්භ කළත්, රුසියාව සහ රටවල් රැසක එකමුතුවෙන්, ඇමෙරිකන් ඩොලර් බිලියන 100 ක මුදලක් වියදම් කරමින් මෙම නැවැතුම්පොළ ඉදිකර තිබේ. 2000 දී සියලු ඉදිකිරිම් අවසන් වීමෙන් පසු, මාස හයෙන් හයට ලොව රටවල් රැසක ගගනගාමීහු මෙම නැවතුම්පොළට ගොස් රැඳී සිටිති. පර්යේෂණ සිදු කරති. අභ්‍යවකාශ නැවැතුම්පොළ නඩත්තු කිරීමට ඇමෙරිකාව පමණක් වසරකට ඩොලර් බිලියන 3 ක මුදලක් වැය කරයි.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි