සඳට ගිය වික්‍රමය
අද යුක්රේනය මුල්කොට ගනිමින් ඇමෙරිකාව සහ රුසියාව අතරේ ‘විරසකයක්’ පවතී. ලෝකය ද බල කඳවුරු දෙකකට වෙන් වී ඇත. ඇමෙරිකාව සහ රුසියාව අතර හටගත් අර්බුදය, මෙම රටවල් දෙක භූ ගෝලීය වශයෙන් ලෝක බලවතුන් වීමට ගන්නා උත්සාහයේ ප්රතිඵලයකි. ඇමෙරිකාව එසේත් නැතිනම් ඇමෙරිකා එක්සත් ජනපදය සහ එදා රුසියාව අයත් වූ ‘සෝවියට් සමූහාණ්ඩුව’ එසේත් නැතිනම් ‘සෝවියට් දේශය’ අතරේ පවතින එදිරිවාදිකම් වසර ගණනාවක් ඈත අතීතයට දිව යයි. 1950 දශකය අවසානයේත්, 1960 දශකය ආරම්භයේත් ඇමෙරිකාව, සෝවියට් සමූහාණ්ඩුව සමඟ ‘අවි නැති’ යුද්ධයක පැටළී සිටියේය. ‘කෝල්ඩ් වෝ’ Cold War යනුවෙන් ඉංග්‍රීසියෙන් ද ‘නිරවි යුද්ධය’ යනුවෙන් සිංහලෙන් ද හැඳින්වෙන්නේ මෙයයි. ඇමෙරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව එකිනෙකාට තම තමන්ගේ න්‍යෂ්ටික බලය පෙන්වමින්, තර්ජනය කර ගැනීම නිරවි යුද්ධයයි.
1957 ඔක්තෝබර් 4 වැනිදා සෝවියට් සමුහාණ්ඩුව, ඇමෙරිකා එක්සත් ජනපදයට අභියෝග කරමින් පළමු කෘත්‍රිම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැවීය. 'ස්පුට්නික් 1' යනු එයයි. 'ස්පුට්නික් 1' සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවීමටත්, ඒ හරහා පණිවුඩ හුවමාරු කර ගැනීමටත් සෝවියට් විද්‍යාඥයන් සමත් වීම ඇමෙරිකාවට එල්ල වුණු අතුල් පහරක් විය. 'ස්පුට්නික් 1' චන්ද්‍රිකාව සාර්ථක වීම, සෝවියට්වරුන්ට එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කළ හැකි තරමේ තාක්ෂණයක් ඇති බව පෙන්නුම් කළේය. ඇමෙරිකාවේ හමුදා ශක්තියට, ආර්ථිකයට සහ තාක්ෂණයට වඩා සෝවියට් සමූහාණ්ඩුය ඉහළින් සිටින බව පෙන්නුම් කළේය. ‘ස්පුට්නික් 1’ චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැවීම, ඇමෙරිකාව සහ සෝවියට් දේශය අතරේ අභ්‍යවකාශය ජය ගැනීම වෙනුවෙන් තරගයක් ආරම්භ කිරීමට මුල් විය.
එදා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩ්වයිට් ඩී. අයිසන්හවර් ය. සෝවියට්වරුන් ‘ස්පුට්නික් 1’ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීම සම්බන්ධයෙන් ජනාධිපති අයිසන්හවර් වහා ප්‍රතිචාර දැක්වීමක් කළේය. ‘ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලනය’ නමැති ආයතනය පිහිටුවීය. අප අද බොහොම හොඳින් දන්නා ‘නාසා’ (NASA) ආයතනය යනු මෙයයි.
‘නාසා’ (NASA) ආයතනයේ පළමු ව්‍යාපෘතිය නම් කෙරුණේ Project Mercury (මර්කරි ව්‍යාපෘතිය) යනුවෙනි. සෝවියට්වරුන් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යැව්වා නම්, අප මිනිසකු අභ්‍යවකාශයට යවනවා යන අරමුණින් මර්කරි ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි. ඒ අරමුණ ඇමෙරිකාව අපේක්ෂා කළ අයුරින් සාර්ථක වූයේ නැත. 1961 අප්‍රේල් 12 වැනිදා සෝවියට්වරුන් පළමු වරට මිනිසකු පෘථිවි කක්ෂයට යවා ආපසු සාර්ථකව ගෙන්වා ගත්තේය. මේ මිනිසා ගගනගාමි යූරි ගගාරීන්ය. අභ්‍යවකාශයට ගොස්, පෘථිවිය වටා කැරැකී ආපසු ආ මිනිසා වන්නේ ගගාරීන්ය. ගගාරීන් මෙම වික්‍රමය කළේ ‘වොස්ටොක් 1’ ගගන කැප්සියුලයේ ආධාරයෙනි.
පළමු කෘත්‍රිම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යැවුවේත් සෝවියට්වරුන්ය. පළමු මිනිසා අභ්‍යවකාශයට යැව්වේත් සෝවියට්වරුන්ය. ඇමෙරිකාව පසුබෑමට ලක් වී සිටියේය. ඇමෙරිකාව පළමු මිනිසා ලෙස ගගනගාමී ඇලන් ෂෙපර්ඩ් අභ්‍යවකාශයට යවා ආපසු ගෙන්වා ගැනීම කළේ යූරි ගගාරීන්ට එම වික්‍රමය කර සති කීපයකට පසු 1961 මැයි 5 වැනිදාය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝන් එෆ්. කෙනඩි ය. සෝවියට්වරුන්ට දෙවැනි නොවිය යුතු බව ජනාධිපති කෙනඩි තරයේ විශ්වාස කළේය. සෝවියට්වරුන් පරාජය කරමින්, ලොව සුපිරි බලවතා වීමට නම් ඇමෙරිකාවට කළ යුතුව තිබුණේ එක් දෙයක් පමණි. 1961 මැයි 25 වැනිදා ජනාධිපති කෙනඩි, ඇමෙරිකන් කොංග්‍රසය (පාර්ලිමේන්තුව) අමතමින් මෙසේ ප්‍රතිඥාවක් දුන්නේය.
“මෙම දශකය (1960 දශකය) අවසන් වීමට පෙර, සඳ මත මිනිසෙකු ගොඩ බස්වා යළි ඔහු නිරුපද්‍රිතව පෘථිවියට ගෙන ඒමේ ඉලක්කය සපුරා ගැනීමට මේ ජාතිය කැපවිය යුතු බව මම විශ්වාස කරමි.”
අට වසරට පසු
අට වසරකට පසු 1969 ජූලි 16 වැනිදා තවත් එක් සාමාන්‍ය දවසක් නොවීය. වසර ගණනාවක පුහුණුවීම් සහ සැලැසුම්වලින් පසු නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම ආරම්භ කිරීමේ දිනය උදා විය. දහස් ගණනකගේ දායකනත්වය මේ සඳහා හිමි වී තිබුණි. අඩි 363 න් උසැති ‘සැටර්න් 5’ රොකට්ටුව රොකට්ටුව මුදුනේ ‘ඇපලෝ යානය’ සවි කර තිබුණි. ‘ඇපලෝ යානය’ කොටස් 3 කින් යුක්ත විය. ‘චන්ද්‍ර යානය’ (ලූනර් මොඩියුල්), ‘සේවා යානය’ (සර්විස් මොඩියුල්), ‘මොහයුම් යානය’ (කොමාන්ඩ් මොඩියුල්) ටනු ඒවාය. ‘ඇපලෝ 11’ මෙහෙයුමට සම්බන්ධ කරගත් ගගනගාමීන් තිදෙනා නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ‘බස්’ ඕල්ඩ්රින් සහ මයිකල් කොලින්ස්ට මනා පෙර පුහුණුවක් ලබා දී තිබුණි. සඳ තරණය ජීවිත අවදානමක් බව ගගනගාමීහු තිදෙනා දැන සිටියහ. කොයිවේලාවේ හෝ අනතුරක් සිදුවිය හැකි බව ඔවුහු දැන සිටියහ. ජීවිත රක්ෂණයක් ලබා ගැනීමට ගගනගාමීන් තිදෙනා උත්සහ කර තිබුණත් කිසිදු රක්ෂණ සමාගමක් ඔවුන් තිදෙනා වෙනුවෙන් ඉදිරිපත් නොවිණි. සඳ ගමන සර්ථක කරමින්, යහතින් ආපසු එන්න ලැබේවා යැයි සිතුවිල්ලෙන්, ආම්ස්ට්‍රෝං, ඕල්ඩ්‍රීන් සහ කොලින්ස් ඔවුන්ගේ අත්සන් සහිත ලියුම් කවර දහස් ගණනක් සකස් කළහ. ඒ සමරු අත්සන් විදියට. සඳ ගමන අසාර්ථක වී මියගියොත්, අත්සන් සහිත එම ලියුම් කවර විකිණීමෙන් ලැබෙන මුදලින් පවුලේ අයට වන්දි මුදලක් ලබා ගැනීම අරමුණ විය.
‘සැටර්න් 5’ රොකට්ටුව ගුවන්ගත කෙරෙන අයුරු නරඹන්න බොහෝ දෙනෙක් උනන්දු වූහ. ගුවන්ගත වෙද්දී අදියර 3 ක දී, ‘සැටර්න් 5’ රොකට්ටුවේ කොටස් වෙන් විය. දෙවැනි අදියර අවසන් වෙද්දී, රොකට්ටුව පෘථිවියේ ගුරුත්ත බලයෙන් මිදී පෘථිවි කක්ෂයට ආසන්න වී තිබුණි. තුන්වැනි අදියර වෙද්දී ඉතිරි වූයේ ඇපලෝ යානය කොටස පමණි. එය පළමුවෙන් පෘථිවි කක්ෂයට ඇතුළු වී, පෘථිවිය නඩා කැරැකෙන්න විය. අවසන් ගණනය කිරීම් සහ පරීක්ෂා කිරීම් සියල්ල සිදුවූයේ මෙම අවස්ථාවේදීය. සියල්ල හොඳින් සිදුවෙද්දී යානය පෘථිවි කක්ෂයෙන් මිදී සඳ බලා ගමන ආරම්භ කළේ ඉන්පසුවය. සඳට ළං වෙද්දී, ඇපලෝ යානය තුළ සුරක්ෂිතව අසුරා තබන ලද චන්ද්‍ර යානය, මෙහෙයුම් යානය සහ සේවා යානය වෙන් කෙරුණි මෙහෙයුම් යානය පළමුවෙන් අභ්‍යවකාශයට පිවිසුණි. එය අංශක 180 ක් කැරකී, පිටතට ගෙන තිබුණු චන්ද්‍ර යානය හා සම්බන්ධ විය. තෙවැනි අදියරේ දී යොදා ගත් සැටර්න් 5 රොකට්ටු කොටස ද ඒ අනුව අත් හැර දැමුණි. අවසානයේ බලා ගියේ ‘චන්ද්‍ර යානය’ සහ ‘මෙහෙයුම් යානය’ එකිනෙක සම්බන්ධ වී සැදුණු කොටසයි. මෙම ඇපලෝ යානය දින 3 ක් තිස්සේ සඳ බලා ගමනේ නියැලුණි. සඳේ ගුරුත්ව බලයට හසුවී යානය සඳේ කක්ෂයට පිවිසුණි. ගගනගාමීන් තිදෙනාගේ වෙන්වීම ඒ අනුව සිදුවිය. ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් ‘චන්ද්‍ර යානයට’ ගොඩ වූහ. මයිකල් කොලින්ස් ‘මෙහෙයුම් යානයේ’ රැඳී සිටියා. ඉන්පසු යානා දෙක වෙන් කෙරුණු අතර ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් ගොඩවුණු චන්ද්‍ර යානය ‘ඊගල්’ යනුවෙන් නම් කෙරැණි. කොලින්ස් රැඳී සිටි මෙහෙයුම් යානය, ‘කොලොම්බියා’ ලෙස නම් කර තිබුණි.
‘කොලොම්බියා’ සඳේ කක්ෂයට වී සඳ වටා කැරකෙද්දී, ඊගල් යානය සඳ මතුපිටට ගොඩ බෑවේය. ඒ යානයේ ගමන් මඟ සෙමින් වෙනස් කරමින් සහ තෙරපුම් පද්ධති ක්‍රියාත්මක කරමිනි. කුඩා රොකට් ඇන්ජිමේ බලය අඩු කරමින්, නීල් ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් රැගත් ‘ඊගල්’ සඳ මත පතිත කෙරුණු අතර සියල්ල සජීවීව රූපවාහිනියෙන් විකාශය විය. ‘මිනිසාට එක් පුංචි පියවරක්, මිනිස් වර්ගයාට යෝධ පිම්මක්’ කියමින් පෙර සැලැසුම් කළ ආකාරයට පළමුවෙන් සඳට පය තැබුවේ ‘ඇපලෝ 11’ මෙහෙයුමේ නායක නීල් ආම්ස්ට්‍රෝං ය. පෘථිවියෙන් පිට තැනකට, වෙනත් ලොවකට, පය තැබූ පළමු පෘථිවි වැසියා බවට පත් වූයේ ආම්ස්ට්‍රෝං ය. ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් සඳ මතුපිටදී ක්‍රියාකාරකම් කීපයක නියැලුණාහ. ඔවුහු දෙදෙනා කිලෝ ග්‍රෑම් 22 ක් බරැති චන්ද්‍ර පාෂාණ එක් රැස් කළහ. දූවිල් සහ පස් රැස් කළහ. ඡායාරූප ගැනීමට ද අමතක නොකළහ. සඳ මතුපිට දී ඕල්ඩ්‍රීන් සත්ප්‍රසාදයට සහභාගී විය. ඒ අනුව, සඳට වත් කළ පළමු දියරය වන්නේ වතුර ය. එපමණක් නොවෙයි, සඳේ දී කළ පළමු ආහාර ගැනීම ද එයයි. ‘ඇපලෝ 11’ මෙහෙයුමේ දී ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් ට ඇමෙරිකන් ධජය සඳ මතුපිට පෘෂ්ඨයේ සවි කිරීම අසීරු විය. ඒ, ඔවුන් ධජයේ රිට සවි කිරීමට තීරණය කළ ස්ථානයේ පස ශක්තිමත් වූ බැවිනි. පැය 21 1/2 ක් සඳ මතුපිට ගත කිරීමෙන් පසු ගගනගාමීහු දෙදෙනා ආපසු පෘථියට බලා ඒමට සූදානම් වූහ. ඊගල් චන්ද්‍ර යානය සඳෙන් නික්මී, සඳුගේ කක්ෂයට පැමිණ, කක්ෂයේ කැරකෙන්න වූ කොලොම්බියා යානය සමඟ සම්බන්ධ විය.
කොලොම්බියා යානය හා සම්බන්ධ වීමෙන් පසු ආම්ස්ට්‍රෝං සහ ඕල්ඩ්‍රීන් කොලොම්බියා යානයට රිංගා ගත්හ. ඊගල් යානයෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින්, එය ගලවා අභ්‍යවකාශයට මුදා හැරුණි. සඳේ කක්ෂයෙන් මිදී දින 2 1/2 ක් තිස්සේ ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ කළේය. පෘථිවි කක්ෂයට පිවිසි කොලොම්බියා ‘මෙහෙයුම් යානය’ දෙකඩ විය. පෘථිවි වායුගෝලයට ඇතුළු වී අධික තාපයට ඔරොත්තු දෙමින් පැරෂූට් යොසා ගනිමින් පහළ මුහුදට පතිත කළේ ගැලවී වෙන් වුණු ගගනගමීන් රැගත් කොටසය. ගගනගාමීන් සහ ඔවුන් සඳෙන් ගෙනා සාම්පල එකතු කර ගැනීමට ඇමෙරිකන් නාවික හමුදාව සීරුවෙන් සිටියේය. ආම්ස්ට්‍රෝං, ඕල්ඩ්‍රීන් සහ කොලින්ස් යළි පෘථිවියට පැමිණියේ 1969 ජූලි 24 වැනිදා ය.
ස්තුතිය - නාසා ආයතනයට