ප්ලූටෝ යළි ග්‍රහලෝකයක් වේවිද?



මීට වසර 13 කට පෙර අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක නවයක් විය. හිරුගේ සිට පිළිවෙළින් බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ යනු එම ග්‍රහයන් නවදෙනාය. 2006 දී, ‘ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය’ වාද විවාද මැද ප්ලූටෝ ග්‍රහලොවක් නොව කුරු ග්‍රහයකු ලෙස නම් කළේය. ඒ අනුව පසුගිය 13 වසර පුරාවට ප්ලූටෝ කුරු ග්‍රහයකු ලෙස මිසක් ග්‍රහයකු ලෙස පිළිගැණුනේ නැත.

කෙසේ නමුත් පසුගිය දා ඇමෙරිකා නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයින්ස්ටයින් මාධ්‍ය හමුවේ කියා සිටියේ ප්ලූටෝ ග්‍රහලොවක් ලෙස තමන් යළි නම් කරන බවය. නාසා ප්‍රධානියා මෙසේ කීවේ ඇමෙරිකාවේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ දේශනයක් පැවැත්වීමට ගිය අවස්ථාවේදීය.

‘ප්ලූටෝ ගැන මම මගේ අදහස කියන්නම්. කවුරුත් මේක හොඳින් අහගන්න. නාසා ප්‍රධානියා ලෙස මම ප්ලූටෝ යළි ග්‍රහලොවක් ලෙස නම් කරනවා. ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවේ කියනවාට මම අකමැතියි.’ යැයි ජිම් බ්‍රයින්ස්ටයින් පවසා තිබේ.

නාසා ප්‍රධානියා පමණක් නොව, ප්ලූටෝ ග්‍රහලොවක් ලෙස යළි පිළිගැනීමට කැමැති තාරකා විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් වෙති. කෙසේ නමුත් ප්ලූටෝ ග්‍රහලොවක් යැයි යළි නම් කිරීම කළ යුත්තේ ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයයි.

2006 දී ප්ලූටෝ ග්‍රහලෝකයක් නොවන බවත්, එය කුරු ග්‍රහයකු බවත් ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය තීරණය කළේ, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහලෝක මෙන් නොව ප්ලූටෝ හිරු වටා යන්නේ ඊට ආවේණික වූ වෙනස් මඟක වීම නිසාය.

මේ වනවිටත් ප්ලූටෝ ග්‍රහලෝකයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මැසචුසෙට්හි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා පිඨයේ මැදිහත් වීමෙන් විවාද පැවැත්වෙයි.

ඊට සහභාගී වන විශේෂඥයන් ප්ලූටෝ ග්‍රහලෝකයක් ද නැද්ද යන්න ගැන ඔවුනොවුන්ගේ අදහස් ඉදිරිපත් කරන බව පැවැසෙයි. කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා පීඨයේ පසුගිය දා පැවැති එම දේශනයට ආධුනික තාරකා විද්‍යාඥයෝ ඇතුළු බොහෝ දෙනෙක් සහභාගී වූහ. එහිදී ප්ලූටෝ ග්‍රහලෝකයක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසුමක් පැවැත් වුණු අතර, පැමිණි සිටි පිරිසට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාක් හිමිවුණු බව ද පැවැසෙයි.

ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයට අනුව, ග්‍රහලෝකයක් වීමට නම් සුදුසුකම් තුනක් සපුරා තිබිය යුතුවේ. ඒ අතරින් පළමු සුදුසුකම වන්නේ එය හිරු වටා භ්‍රමණය වීමය. එය තවත් ග්‍රහලොවක චන්ද්‍රයකු නොවිය යුතුය.

දෙවැන්න තමන්ටම ක්‍රියා ගුරුත්වාකර්ෂණ බලයක් ඊට තිබිය යුතු අතර, එය ගෝලාකාර හැඩයක් ගත යුතුය. අවසන් සුදුසුකම වන්නේ සෞරග්‍රහ මණ්ඩලයක සෙසු ග්‍රහලෝක ගමන් කරන ආකාරයට හිරු වටා භ්‍රමණය විය යුතුයි. ප්ලූටෝ ට නැත්තේ මෙම සුදුසුකම පමණි.

සෙසු ග්‍රහලෝක ඉලිස්ප්සාකාර හැඩයකින් හිරු වටා භ්‍රමණය වන අතර ප්ලූටෝගේ ගමන් මඟ එසේ නොවේ. අසාමාන්‍ය ගමන් මඟ නිසා 1979 වසරේදීත්, 1999 වසරේදීත් ප්ලූටෝ ඊට පෙර ඇති නෙප්චූන් ග්‍රහලොවටත් වඩා හිරුට සමීප විය. එම වසරවලදී සෞරග්‍රහ මණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය වූයේ ප්ලූටෝ නොව නෙප්චූන්ය.

ප්ලූටෝ හිරු වටා භ්‍රමණය වෙද්දී, අනෙක් ග්‍රහලෝක නොකරන දෙයක් කරයි. ඒ සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට පිහිටා ඇති කුයිපර් වළල්ල තෙක් ගමන් කරයි. එම කලාපයේ වෙනත් ග්‍රහ වස්තූන් ද පිහිටා ඇත. මේ කරුණු කාරණා සැලකිල්ලට ගනිමින්, ප්ලූටෝ ග්‍රහලෝකයක් නොව, කුරු ග්‍රහයකු යැයි 2006 වසරේ දී මුලින්ම ලොවට හෙළි කළේ තාරකා විද්‍යාඥ ආචාර්ය ගැරෙත් විලියම්ස්ය.

මොහු කුරු ග්‍රහලෝක සංගමයේ සාමාජිකයෙකි. ඔහු ගෙන ආ තර්ක පිළිගැනීමෙන් පසු, ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයන් තීරණය කළේ ප්ලූටෝ ග්‍රහලෝකයක් නොව, කුරු ග්‍රහයකු කියාය.

පෘථිවියේ සිට දුරින්ම පිහිටා ඇත්තේ ප්ලූටෝ ය. අභ්‍යවකාශ යානයක නැගී ප්ලූටෝ තෙක් යෑමට හැකි නම් (එතරම් දුරකට මිනිසුන් රැගෙන යෑමට අභ්‍යවකාශ යානයක් මෙතෙක් නිර්මාණය වී නැත.) පැයට කිලෝ මීටර් 1,810 ක වේගයකින් පෘථිවියේ සිට ප්ලූටෝ වෙත යෑමට අවුරුදු 370 ක් ගත වේවි.

ප්ලූටෝට චන්ද්‍රයෙක් සිටී. චැරොන් නමැති එය සොයා ගනු ලැබුවේ 1978 වසරේදීය. එය පිහිටා ඇත්තේ ප්ලූටෝගේ සිට කිලෝ මීටර් 20,000 ක් කරම් ළඟිනි. එහි විෂ්කම්බය කිලෝ මීටර් 800 කි.

ප්ලූටෝහි දරුවකු උපත ලැබුවහොත් (එය ද විය නොහැකිය) පෘථිවි වර්ෂ අනුව, එම දරුවාගේ පළමු උපන්දිනය සැමැරීමට නම් වසර 248 ක් ගත වේවි. ප්ලූටෝ ග්‍රහලොවක් ලෙස මුලින්ම සොයා ගැනුණේ 1930 දීය. විෂ්කම්බය කිලෝ මීටර් 2,400 ක් යැයි පැවැසෙයි. එය අපේ චන්ද්‍රයාටත් වඩා කුඩාය. බරින් ද ඉතා අඩුය.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS