ප්ලාස්ටික් කන දළඹුවෝ පරිසර දූෂණයට විසඳුමක් !



ඉවත දමන ප්ලාස්ටික් වලින් ඇතිවන පරිසර දූෂණය අවම කිරීමට ඇති විසඳුම කුමක්ද යන පැනයට පිළිතුර ඒවා ආහාරයට ගන්නා දළඹු වර්ගයක් බව විද්‍යාඥයෝ පවසති.

සලබයන් බවට පරිවර්තනය වන දළඹු විශේෂ මී ඉටි ආහාරයට ගනු ලබන අතර එම දළඹු විශේෂයට ප්ලාස්ටික් ආහාරයට ගෙන දිරවීමේ හැකියාව පවතින බව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන ලද පර්යේෂණයක් මෙහෙය වූ විද්‍යාඥයන් කණ්ඩායමක්පෙන්වා දෙති.

මී ඉටි ආහාරයට ගන්නා දළඹු විශේෂයන්ගේ ආහාර ජීරණ පද්ධතියට ප්ලාස්ටික් වල රසායනික සංඝටක වෙන් කිරීමේ හැකියාවක් ඇති බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත.

ලෝකයේ වසරකට ටොන් කෝටි අටකට අධික පොලිතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙයි.

'ෂොපින් බෑග්' සහ අහාර වර්ග ඇසිරීමට ගන්නා පොලිතින් වර්ග සම්පූර්ණයෙන්ම දිරාපත් වීමට වසර සියයක පමණ කාලයක් ගතවේ. කෙසේ වෙතත් පැයක කාලයක් ඇතුළත ආහාරයට ගන්නා ප්ලාස්ටික් කොටස් ජීර්ණය කිරීමේ හැකියාව දළඹුවකු සතු බව නව පර්යේෂණ දත්ත මගින් පැවසෙයි.

"මෙම දළඹු විශේෂයට ප්ලාස්ටික් ජීර්ණය කළ හැකි බව හඳුනා ගැනීම අපේ පළමු පියවරයි. නමුත් අපි අධ්‍යනය කළ යුතුයි - කුමන තත්ත්ව යටතේ ද මේ ක්‍රියාවලිය නිසි අයුරින් සිද්ධ වෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා - ඉවත දමන ප්ලාස්ටික් වලින් සිදු වන පරිසර දුෂණය අවම කර ගැනීමට මේ දළඹුවන් මගින් පිළිතුරක් සොයා ගන්න" කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජෛවරසායන විද්‍යාඥ ආචාර්ය පවුලෝ බොම්බෙල්ලි සිය පර්යේෂණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියි.

ජෛව රසායන විද්‍යාඥ පවුලෝ බොම්බෙල්ලි සහ ඔහුට සහය දුන් ස්පාඤ්ඤ ජාතික පර්යේෂණ සහ සමීක්ෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥ ෆෙඩ්රිකා බර්ටෝකිනි ඉහත කී විද්‍යාත්මක සොයාගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත.

ප්ලාස්ටික් ජීර්ණය කරන එම දළඹුවන්ගේ ආහාර ජීර්ණ පදධතියේ සිදු වන රසායනික ක්‍රියාකාරිත්වය නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් ප්ලාස්ටික් දිරාපත් කිරීමේ රහස හෙළිදරව් කර ගැනීමට සිය පරීක්ෂණ කඩිනම් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

එම දළඹු විශේෂයේ ආහාර ජීර්ණ පද්ධතියේ වාසය කරන ක්ෂුද්‍ර ජීවීන් ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ ක්‍රියාවලියේ විශාල කර්තව්‍යයක් ඉටු කරන බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ප්ලාස්ටික් ජීර්ණ ක්‍රියාවලියේ රසායනික ක්‍රියාකාරිත්වය හෙළි කර ගැනීමට හැකියාව ලැබුනොත් එය පරිසරයට මුදා හරින ඉවත දමන ප්ලාස්ටික් හිතකර අයුරින් කළමනාකරණය කිරීමට ඉවහල් වනු ඇත.

තිළිණි ද සිල්වා
බී.බී.සී. ඇසුරිනි


RECOMMEND POSTS