ත්‍රස්තයකුට පෙම් කළෙමි



තම භාෂා පරිවර්තන නියෝජිතවරියක සිරියාවට ගොස් IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ කැරලිකරුවකු සමඟ විවාහ වී ඇති බව ඇමෙරිකානු රහස් ඔත්තු අංශය (එෆ්.බී.අයි) විසින් තහවුරු කරනු ලැබ ඇත.

එම පරිවර්තන නියෝජිතවරිය විවාහ වී ඇත්තේ ඇයගේ ඔත්තු බැලීම්වලට ලක් වූ ISකැරලිකරුවකු සමඟ බවත් FBI ආයතනය පවසයි.එම සිද්ධියෙන් අනතුරුව ආරක්ෂාව අතින් මතුවිය හැකි අන්තරාය අවම කවර ගැනීමට පියවර ගත් බව ඇමෙරිකානු රහස් ඔත්තු අංශය බීබීසියට ප්‍රකාශ කළේය.

ඩැනියෙලා ග්‍රීන් නමැති පරිවර්තිකාව 2014 වසරේ ඇය විසින් සිදු කරන ලද සංචාරය සම්බන්ධයෙන් තමා සේවය කළ FBI සංවිධානයට බොරු කියා ඇති බව ඇයගේ විවාහය පිළිබඳව අනාවරණය කළ CNN මාධ්‍ය ආයතනය උපුටා දක්වමින් බී.බී.සී පවසයි.ඩැනියෙලා ග්‍රීන් විවාහ වී ඇත්තේ IS කැරලිකරුවන්ට එක්ව සිටි ඩෙනිස් කුස්පර්ට් (Denis Cuspert) ජර්මන් ජාතික සංගීතවේදියකු සමඟයි.

ඇමෙරිකා එක්සත් ජනපදය ඔහු ජාත්‍යන්තර මට්ටමින් විශේෂයෙන් හඳුනා ගන්නා ලද 'ත්‍රස්තවාදියකු' හැටියට 2015 වසරේ දී නම් කරනු ලැබ ඇත. ඩෙනිස් කුස්පර්ට් සිඳින ලද මිනිස් හිසක් රැගෙන සිටින දර්ශනයක් IS ප්‍රචාරක වීඩියෝ පටයක දැක්වෙයි.

CNN වාර්තා අනුව FBI ආයතනය ඩෙනිස් කුස්පර්ට් පිළිබඳව ගවේෂණය සඳහා ඩැනියෙලා ග්‍රීන් යොදවන ලද්දේ 2014 ජනවාරි මාසයේදීය.චෙකොස්ලෝවැකියානු සම්භවයක් සහිත ජර්මන් බස කතා කරන FBIපරිවර්තිකාව ඉන් මාස හයකට පසු ඩෙනිස් කුස්පර්ට් සමඟ විවාහ වීම සඳහා සිරියාවට ගොස් ඇත.

ඇය එම ගමන ගොස් තිබෙන්නේ ජර්මනියේ සිටින සිය දෙමව්පියන් දැකීමට යන බව FBI බලධාරීන්ට පවසමිනි. එහෙත් ඇය ජර්මනියට නොව තුර්කියට ගොස් IS කැරලිකරුවන්ගේ ආධාරය ඇතිව තුර්කි දේශ සීමාවෙන් සිරියාවට ඇතුල් වී ඇත.

ඉන් අනතුරුව ඇය 2014 වසරේ ඩෙනිස් කුස්පර්ට් සමඟ විවාහ වී ඇතැයි සැලකෙයි.එහෙත් ඒ වනවිට ඇය ඇමෙරිකානු සොල්දාදුවකු සමඟ විවාහ වී සිටි බවත් පැවසෙයිතිස් අට හැවිරිදි ඩැනියෙලා මාසයක කාලයක් ඇතුළත සිරියාවෙන් පළාගොස් යළිත් ඇමෙරිකා එක්සත් ජනපදයට ලඟා වී ඇති අතර එවිට ඇය වසර දෙකක සිර දඬුවමකට යටත් කරනු ලැබුණි.

ඩැනියෙලා ග්‍රීන් ගේ IS පෙම්පුවත රහසක්ව තබන මෙන් ඇමෙරිකානු විනිසකරුවකු නියෝග කර තිබුණත් ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණ වාර්තා මුදා හරිනු ලැබීමත් සමඟ මෙම සඳුදා (මැයි 01) එම වෘත්තාන්තය පළමු වරට මහජනයා අතරට ගියේය.

තිළිණි ද සිල්වා
(බී.බී.සී.)


RECOMMEND POSTS