කොවිඩ් එන්නත් සාදරයෙන් පිළිගනිමු



ඉන්දියාවේ සීරම් ආයාතනයේ නිපදවූ ඇස්ට්‍රාසෙනිකා-ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (28) ශ්‍රීලංකාවට ලඟාවීමට නියමිත අතර එය එක් අයෙකුට සති 4ක පරතරය ඇතුව මාත්‍රා දෙක බැගින් දෙලක්ෂ පනස් දහසක් පිරිසට ලබා දීමට යයි.

මේවා හෙට (29) සිට ම එන්නත් කිරීමට රජයේ ප්‍රධාන රෝහල් 8 කදී ආරම්භ කරනු ඇත.

මින් අඩක් කොවිඩ් මර්ධන ක්‍රියාවලියට මැදිහත් සුව සේවා අංශ වලට ලබා දෙන අතර ඉතිරි අඩෙන් කොටසක් එම ක්‍රියාවලියට මැදිහත් හමුදා, ගුවන් සේවා,හෝටල්, නිරෝධායනය මධ්‍යස්ථාන ආදියේ සේවක පිරිසට ලබා දීමට නියමිතය.

ඉතිරියක් තිබේ නම් එය වයස 60 කට වැඩි පිරිසට ලබා දීමට සැලසුම් කර ඇත. එයිනුත්, දියවැඩියාව, හෘද රෝග වැනි වැඩි අවදානමක් ඇති පිරිසට ප්‍රමුඛත්වය ලැබේ.

මීට අමතරව ලඟදීම චීනය විසින් ලබා දීමට සැරසෙන ලක්ෂ 3 ක් මාත්‍රා ප්‍රදානය කිරීමට යන සිනොෆාම් එන්නත පිලිබඳ මෙරට බලාපොරොත්තුවෙන් සිටී. මුලදී රජයේ රෝහල්වලදී පමණක් මෙය ලබා දෙන අතර පසුව පෞද්ගලික රෝහල් වලදීද ලබා දීමට නියමිතය.

එන්නත කැමති අයට පමණක් ලබාගත හැක. අකමැති අයට එය නොගෙන සිටිය හැක.

වඩාම වැදගත් පණිවිඩය නම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් සියදෙනෙකුගෙන් ආරක්ෂාව ලැබෙන්නේ අනූවකට (90%) පමණි. ඉතිරි අයගේත් එන්නත් ගහලාත් ආරක්ෂාව නොලැබෙන අයගේත් ජීවිත ආරක්ෂාව රැඳී ඇත්තේ අපේ සෞඛ්‍ය පුරුදු මත පමණි.

අපේ රටේ 70% ක් පමණ එන්නත් ලබා, අප අවටින් හමුවෙන රෝගීන් බිංදුවටම බසින තෙක්, අපිට පූර්ණ ආරක්ෂාවක් ගැන සිතිය නොහැකිය.

එනිසා අපි දැනට පිලිපදින සෞඛ්‍ය නීති ඒ අයුරින්ම ඉදිරි වසර තුලදීත් පිලි පැදීමට මෙරට සියල්ලන්ම වග බලා ගත යුතුය. 


විශේෂඥ වෛද්‍ය
ආර්.එන්.ජී රාජපක්ෂ

RECOMMEND POSTS