හොඳ යාලුවෙක් වෙන්නේ මෙහෙමයි



අපිට ඉන්න යාලුවෝ ගත්තම විවිධාකාර විදිහේ යාළුවෝ ඉන්නවනේ. ඒ යාලුවෝ අතරිනුත් හරිම සමීප යාළුවෝ කීපදෙනෙක් අපි හැමෝටම ඉන්නවා. මිනිස්සු කියන්නේ රංචු විදිහට ජීවත්වෙන්න ආස පිරිසක්.

යාලුවෙක් නැතුව තනියම ඉන්නවා කියන්නේ ඔන්න ඔයාගේ මොකක් හරි අඩුපාඩුවක් තියනවා කියන එකයි. අපිට නොසුදුසු යාලුවන්ගෙන් ඈත් වෙන එකයි , යාලුවො කිසිම කෙනෙක් නැතුව ඉන්න එකයි කියන්නේ දෙකක්. ඒ දෙක පටලවා ගන්න එපා. බුදු දහමෙත් අපිට උගන්වලා තියනවනේ ආශ්‍රේ කරන්න හොඳ යාලුවෙක් නැත්තන් තනියම ඉන්න කියලා. ඒකෙන් කියන්නේ හැම යාලුවම අතාරින එක ගැන නෙමෙයි නොසුදුසු මිතුරුකම් වලින් ඈත් වෙන එකයි.

විශ්වාසනීය වෙන්න
හොඳ යාලුවෙක් හැමවෙලේම විශ්වාසනීය වෙන්න ඕනේ. පොරොන්දු රකින්න ඕනේ. තමන් කියපු කරපු දෙයක් කිසිම දාක කරේ නෑ කිව්වේ නෑ කියන්න එපා. මොකද බොරුව කියන්නේ වතුරයට තියන රබර් බෝලයක් වගේ. කොයිවෙලාවේ හරි උඩට එනවා. ඒක නිසා තමන්ගේ යාලුවන්ට කිසිම වෙලාවක බොරු කියන්න එපා. එහෙම වුනාම ඔයා යාලුවෝ අතර අවිශ්වාසනීය යාලුවෙක් වෙන්න පුළුවන් . ඒ හේතුව නිසාම ඔයාව යාලුවෝ අතර කොන් වෙන්න පුළුවන්. 

රහස් රකින්න
හොඳ යාලුවෙක් කිසිම දවසක තමන්ගේ යාලුවට විරුද්ධව යන්නේ නෑ. තරහා වුනත් රහස් රකිනවා. තරහා වුනාට පස්සේ හැමතැනම ඔයාගේ නැති වැරදිත් හද හද යනවා නම් එයා හොඳ යාලුවෙක් නම් නෙමෙයි. 

මානසික නිදහසට බාධා එපා
ඔයාගේ යාලුවා නිසා ඔයාගේ මානසික නිදහස නැතිවෙනවා නම් ඉක්මනින් ඒ තැන් වලින් අයින් වෙන්න. නිතර නිතරම යාලුවා කියන කරන දේ වලින් ඔයා මානසික ආතතියට පත්වෙනවා නම් හොඳම දේ එහෙම අයගෙන් අයින් වෙන එක. මොකද යාලුවා කියලා කිව්වට සමහර විට එයාලා යාලුවෝ වෙස් ගත්ත හතුරෝ වෙන්න පුළුවන් . මානසික නිදහස තමයි වැදගත්ම දේ තමන්ගේ සතුටේදි තමන්ගේ යාලුවා ඒකට ඊර්ශියා කරනවා නම් එයා හොඳ යාලුවෙක් නෙමෙයි. යාලුවෙක් නිසා ඔලුවට බරක් දැනෙනවා නම් ඒක ඔයාට සුදුසු නැති යාලුකමක්.

‍තේරුම් ගන්න
හොඳ යාලුවෙක්ට පුළුවන් අපේ පුංචි වෙනසක් වුනත් තේරුම් ගන්න. අපේ හැසිරීමෙන් කියන කරන දේ වලින් අපිව තේරුම් ගන්න හොඳ යාලුවෙක්ට පුළුවන්. තමන්ව තේරුම් ගන්න බැරි යාලුවෙක් ලැබුනොත් ඒකත් ලොකු ස්ට්‍රෙස් එකක්. තමන්ගේ යාලුවට දුක හිතුනම හැසිරෙන විදිහ තරහා ගියාම හැසිරෙන විදිහ කොහොමද කියලා හොඳ යාලුවෙක් උනාම දැනගෙන ඉන්න ඕනේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේක වෙනස්වෙන්න පුළුවන් හොඳ යාලුවෙක් වුනාම වැරදියට නෙමෙයි හරි විදිහට යාලුවව තේරුම් ගන්න ඕනේ. අපි හිතමුකෝ යාලුවට තරහා ගිය වෙලාවකට කියලා. ඒ වෙලාවට අවශ්‍ය වෙන්නේ හිත නිවන එක මිසක් දිගින් දිගටම තරහා යන විදිහට හැසිරෙන එක නෙමෙයි. ඒකෙන් වෙන්නේ තව තවත් තමන්ව එපා වෙන එක. තරහා ගිහින් ඉන්න වෙලාවට කරන්න හොඳම දේ තමයි නිහඬව ඉන්න එක. යාලුවා ගැන වැරදි අඩුපාඩු කිය කිය යන්නේ නැතුව මොහොතකට නිහඬව ඉන්න. මොකද එල්ලි එල්ලි යාලුකම අයඳින එකත් කරදරයක් වෙන්න පුළුවන්. හොඳ යාලුවෙක් කවදාවත් ලේසියෙන් අතාරින්නේ නෑ. හැබැයි ඔයා එයාගේ තරහා වැඩිවෙන විදිහේ වැඩ කරනවා නම් ඒකෙන් වෙන්නේ ඔයාව එපාම වෙලා යන එකයි. කාලය කියන්නේ හැමදේටම හොඳම විසඳුම කාලයට ඉඩදීලා නිහඬව බලන් හිටියා නම් ඔයාටත් නැති වුණ යාලුකම් තියාගන්න පුළුවන් වෙනවා නේද.

ගෞරවය රකින්න
යාලුවෝ වුනාම මූණට මූණ මොනවගේ විහිලු තහලු කරගත්තත් තමන්ගේ යාලුවා නැති තැන ඒ යාලුවගේ ගෞරවය ආරක්ෂා කරන එක ඔයාගේ වගකීමක්. අපි හිතමු යාලුවෙක් තරහා වුනාට පස්සේ ඔයා එයාට හානිවෙන විදිහට අනිත් අයට එක එක දේවල් කියනවා කියලා. ඒක ඇත්තටම හොඳ යාලුකමක් නෙමෙයි. යාලුවෙක් ඉද්දි වගේම නැති වුනාමත් ඔයා එයාගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. තමන් වපුරන දේ තමයි තමන්ට ලැබෙන්නේ. තමන් හොඳ යාලුවෙක් නම් තමන්ට ලැබෙන යාලුවොත් ඒ වගේ අයම වෙයි. 

තමන් ධණාත්මක මනුස්සයෙක් නම් ඍණාත්ම සිතිවිලි තියන අය ඒ තැන් වලට හරි ඉක්මනින් ආකර්ෂණය වෙනවා. ඒකේ හොඳ වගේම නරක පැත්තකුත් තියනවා. ධනාත්මක මනසක් තියන ඔයාට ඍණාත්මක මනසක් තියන පුද්ගලයෙක් හමුවුනොත් සමහරවිට ඒ පුද්ගලයත් කාලයක් යද්දි ධනාත්මක මනුස්සයෙක් වෙන්න පුළුවන් . හැබැයි මේකේ භයානක දේ තමයි ඍණාත්මක ශක්තිය වැඩි පුද්ගලයෙක් කාලයක් තිස්සේ ආශ්‍රේ කරාම ඔයාගේ ධනාත්මක සිතිවිලි වලට හානි වෙලා ඔයා ඍණාත්මක ශක්තියක් ඇති පුද්ගලයෙක් බවට පත්වෙන එක. ඉතින් ඒ වගේ යාලුවන්ගෙන් ඈත්වෙන එක ඔයාට ගොඩක් හොඳවෙයි.

ලියන්නේ - ජයනි සිතාරි


RECOMMEND POSTS