විභාගය අසමත් නම් ජීවිතයම ෆේල් ද?



සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ යමුනා එල්ලාවල.

මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගය ඇරැඹී ඇත. සාමාන්‍යෙයන් වසරකට අපේ රටේ සිසුන් බොහෝ පිරිසක් ඒ සඳහා ඉදිරිපත් වෙති. ඒ අතුරින් බොහොමයකක් දෙනා මානසික ආතතියෙන් බියෙන් මානසික ව්‍යාකූලත්වයෙන් පසුවේ. එබැවින් තමා දන්න දේ පවා නිවැරැදිව ගොනු කර ගත නොහැකි තරමටම දරුවා අසරණ වන අවස්ථාද ඇත.

විභාගයක් කියන්නෙම නිතැතින්ම ආතතිය සමගින් බද්ධ වූවකි. දරුවාට අනවශ්‍ය පීඩනයක් දී තම බලාපොරොත්තු දරුවාට දැනවීමට සැලැස්වීම තවත් දරුවාගේ මානසික ආතතිය දෙගුණ තෙගුණ කිරීමකි. දරුවන්ගේ මනසට මෙය කෙතරම් ප්‍රබලව දැනෙනවාද කිව්වොත් මවුපිය වැඩිහිටියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකිවේදෝ යන්න චකිතය මෙන්ම බියෙන් දරුවා විභාගයට මුහුණ දෙන නිසා තම නිසඟ හැකියාව මත පිළිතුරු ලිවීමට බෙහෝ දරුවන්ට අද නොහැකිව ඇත්තේ එනිසයි. අනවශ්‍යාකාරයෙන් පැතුම් පොදි බැඳ එය යම් හෙයකින් බිඳ වැටුණොත් දරුවාටත් වඩා අන්ත අසරණ වෙන්නේ ඔබමය. දරුවා ගැන අධි තක්සේරුව මෙන්ම අවතක්සේරුවද නොකළ යුතුය.

දරුවාට තව ඉදිරියේදී මීටත් වඩා අභියෝග ජය ගැනීමට, විඳ දරා ගැනීමට සිදු වේ. එනිසා එක් කඩඉමකට මෙච්චර බර පැටවීම සුදුසුම නොවේ. මේ කාලයේදී ඇතිවන මානසික සෞඛ්‍ය ගැටලුවලට පිළියම් නොලද හොත් ඒවා දිගින් දිගටම ව්‍යාප්ත වී දරුවාට නුදුරු අනාගතයවත් සැනසිලිදායක අයුරින් ගත කිරීමට අවකාස නොලැබෙනු ඇත.

දරුවකුගේ වටිනාකම විභාග ප්‍රතිඵලයේ ඇති ලකුණට ලඝු කිරීම නොකළ යුතුය. දරුවාගේ ප්‍රතිඵල ගැන මවුපියන්ට ඇත්තේ සෑහීමකට පත් නොවිය හැකි තත්වයකි. අනෙක් දරුවන්ගේ ලකූණු සමඟ තම දරුවාගේ ලකුණු සංසන්දනය කරමින් අහිතකර මානසික වටපිටාවකට පදනම දමන්නේද වැඩිහිටියන් විසිනි. තවමත් වර්ධනය වන ළමා මනසට මෙය දරා ගැනීම අපහසු බව අමුතුවෙන් කිව යුතුද නැත.

අනවශ්‍යාකාරයෙන් ගොඩ නැගෙන බලාපොරොත්තු බිඳ වැටුණු පසු දරුවනුත් වැඩිහිටියනුත් පත් වෙන්නේ දරා ගත නොහැකි පීඩනයකටය. එහෙත් ඔබ මොහොතකටවත් සිතුවාද ඔබගේ බලාපොරොත්තු ඉටු නොවුණු තැන ඔබටත් වඩා එය දරුවාට බලපාන බව. හැම දරුවකුම එකිනෙකාට වෙනස්ය. ඔවුන්ගේ හැකියාවන් පවා එකිනෙකාට වෙනස්ය. ඒ හැකියා තෝරා බේරාගෙන දරුවාගේ ඉදිරි අනාගතය සුවදායී ලෙස සැකසීමට මඟ එළි පෙහෙළි කිරීම කළ යුතුය. එසේ නොමැතිව දරුවාව තව තවත් පෑරීම, තුවාල කිරීම නෙවෙයි.

යම් හෙයකින් දරුවාට ඇති වූ මානසික තුවාලය සුව වීමට අප සිතනවාට වඩා වැඩි කලක් ගත වේ. තවත් සමහරුන්ට එය තම මුළු දිවිය පුරාවට වුවද බලපෑමට හැකිය. විභාගයක් අවසන් වූ පමණින් අධ්‍යාපනය ඉන් නැවතේද? බොහෝ වෙලාවට ඔවුන්ට නොලැබුණේ අපේක්ෂාවෙන් සිටි ප්‍රතිඵලයට වඩා අපේක්ෂිත බලාපොරොත්තු විය හැකිය.

දරුවකු අධ්‍යාපනය ලබන්නෙ අභියෝග ගොඩක් මැද. අභියෝග මැඩගෙන විභාගය ලිවීමත් ලොකු ජය ගැනීමකි. විභාගයේ ප්‍රතිඵල මත තීරණ නොගෙන අභියෝග ජයගත් දරුවකු ලෙස දරුවාව දැකිය හැකි නම් ඉදිරි අනාගතයට එය මනාව හේතු සාධක වනු ඇත. දැන් කළ යුත්තේ, අරමුණු කරා යාමට මේ ප්‍රතිඵලය ප්‍රමාණවත් නොවේ නම් පසුතැවී නොසිට අලුත් ජවයකින් අරමුණට ළඟා වීමට වැඩ පටන් ගැනීමය.

ලියන්නේ - මාධවී ධර්මරත්න  


RECOMMEND POSTS