වකුගඩු රෝගියාට සුදුසු නුසුදුසු කෑම



කොළඹ, වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝජි ගමගේ.

රුධිරයෙන් අපද්‍රව්‍ය සහ අතිරික්ත තරල පෙරීමේදී මෙන්ම සෝඩියම්, පොටෑසියම් සහ පොස්පරස් වැනි ලවණ මට්ටම් නියාමනය කිරීමේදීද වකුගඩු තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. වකුගඩුවලට හානි වූ විට මෙකී කාර්යය පලදායී ලෙස ඉටු නොකෙරේ. එහිදී අපද්‍රව්‍ය එකතු වීමට හා පෝෂක මට්ටම්වල අසංතුලිතභාවයක් ඇති විය හැකිය. මෙය රෝගියාගේ පෝෂණ තත්වයට මෙන්ම සමස්ත සෞඛ්‍යයටද තර්ජනයක් විය හැකිය. එබැවින් මෙකී අසමතුලිතතා කළමනාකරණය කිරීම සහ වකුගඩු ක්‍රියාකාරීත්වයට සහාය වීම සඳහා විශේෂිත ආහාර වේලක් අනුගමනය කිරීම වැදගත්ය.

තවද එක් එක් රෝගියාගේ වකුගඩු ක්‍රියාකාරී මට්ටම සහ අනෙකුත් රෝගී තත්ව වන උණ, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී රෝග මත ආහාර ගත යුතු ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එනම් රෝගියාගේ සෞඛ්‍ය තත්වයට ගැළපෙන ආකාරයෙන් ආහාරය සකසා ගත යුතුය.

වකුගඩු රෝගීන්ගෙන් බොහෝ දෙනකුගේම ආහාරයට සීමා පනවනු ලැබේ. එහෙත් මෙය වකුගඩු රෝගී මට්ටම මත පමණක් තීරණය කළ යුතු දෙයකි. මුල් අවදියේදී වඩාත් නම්‍යශීලී ආහාර වේලක් ගත හැකි අතර අනවශ්‍ය සීමා කිරීම් රෝගියාගේ යහ පැවැත්මට තවදුරටත් බාධා ගෙනදිය හැකිය. මේනිසා වෛද්‍ය පෝෂණ උපදෙස් නිති ලබා ගන්න.

වකුගඩු ක්‍රියාකාරීත්වය මධ්‍යස්ථ හෝ උග්‍ර ලෙස අඩුවූ රෝගීන් සඳහා පොදු පෝෂණ කරුණු කිහිපයක් ගැන අවබෝධවත් වීම වටී. ඉහත රෝගීන්ගේ ආහාරය , ඌනතා වළක්වා ගැනීමටත් , වකුගඩුවල කාර්ය පහසු කර සෞඛ්‍ය පවත්වා ගැනීමට උපකාරී විය යුතුය.

මෙහිදී සාමාන්‍යයෙන් සෝඩියම්, පොස්පරස් සහ පොටෑසියම් වැනි ඇතැම් පෝෂ්‍ය පදාර්ථ සීමා කරන අතරම ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රෝටීන හා කැලරි ලැබෙන බව සහතික කිරීමද ඇතුළත්ය.

එසේම වකුගඩු රෝගය උග්‍ර අවදියේදී පිළිපැදිය යුතු මූලධර්ම කිහිපයකි. එනම් රුධිර පීඩනය පාලනය කිරීමට සහ තරල රැඳවීම අවම කිරීමට සෝඩියම් ප්‍රමාණය සීමා කළ යුතුය. එසේම පොස්පරස් ප්‍රමාණ ඉහළ යාම අස්ථි මෙන්ම හෘද ගැටලුවලට හේතු විය හැකි බැවින් ඒ ගැනත් අවධානය යොමු කරන්න. තවද පොටෑසියම් මට්ටම කළමනාකරණය කිරීම , පොටෑසියම් අධික වීම හදවතට හානිකර විය හැකිය. ප්‍රමාණවත් ප්‍රෝටීන ප්‍රමාණයක් ලබා ගැනීම සහතික කිරීම සහ අධිකව ගැනීමෙන් වැළකෙන්න.

ආහාර වෙලෙහි ලුණු සීමා කිරීම

මෙහිදී සෑම විටෙකදිම පිටතින් ආහාරයක් මිලදී ගැනීමේදී අසුරණය, ලේබලය පරීක්ෂා කර බැලීමට පුළුවන. එහි ඇති වර්ණ ,සංකේත නිරීක්ෂණය කළ හැකිය. සෝඩියම් හෝ ලුණු අඩු හෝ ලුණු රහිත විකල්ප තෝරා ගන්න. ලේබල් පරීක්ෂාවේදී කොළ පැහැ වර්ණය ඇති ආහාර පමණක් තෝරා ගන්න. එසේම නිවසේදීම පිස ගන්නා ආහාරවල ලුණු ප්‍රතිශතය අවම කිරීමට හැකිතාක් උත්සාහ ගන්න. පෙර සකසන ලද ආහාර හෝ ඇසුරුම් කර ඇති ආහාර මත රඳා නොසිට නැවුම් අමුද්‍රව්‍ය සහ කුළු බඩු භාවිත කොට රස ගැන්වීමට හැකිය.

ඒ වගේම සැකැසූ ආහාර පරිභෝජනය සීමා කිරීමටද පුළුවන. උදාහරණ ලෙස ටින් වර්ගවල එන කෑම, ක්ෂණික ආහාර, සොසේජස් වර්ග වැනි දෑ දැක්වීමට පුළුවන.

ඔබ මෙතෙක් ඉවක් බවක් නැතිව ආහාර ගත් අයකු නම් මින් ඉදිරියට ආහාර ගනිද්දී කට පරෙස්සම් කර ගත යුතුමය. එනම් ලුණු අධික නුසුදුසු කෑම බීම වෙනුවට තැම්බූ හෝ ග්‍රිල් කළ විකල්ප තෝරා ගැනීමට ඔබට හැකිය.

පොස්පේට් මට්ටම ගැන සැලකිලිමත් වන්න. මෙහිදී පොස්පරස් බහුල ආහාර සීමා කළ හැකිය. කිරි නිෂ්පාදන, ඇට වර්ග, බීජ, ධාන්‍ය, සහ සැකසූ ආහාරවල පොසපරස් බහුල බැවින් ඉන් වැළැකීම හෝ සීමා කිරීම වෛද්‍ය උපදෙස්වලට අනුකූලව සුදුසු වනු ඇත.

මස්,මාළු බිත්තර වැනි සත්ව ආහාරවල පොස්පේට් බහුලය. එහෙයින් වෛද්‍යවරයාගේ නිගමනවලට අනුකූලව සීමා කළ හැකිය. අඩු පොස්පරස් මට්ටම සහිත විකල්ප තෝරා ගන්න. උදාහරණයකට පැස්ටා , සුදු පාන් දැක්විය හැකිය.

තවද පැකට් කළ ආහාරවල ඇති ආකලන ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වන්න. කල් ගබා ගන්නා අමුද්‍රව්‍ය හා සැකසූ ආහාරවල පොස්පේට් බහුල බැවින් ලේබලය පරීක්ෂා කරන්න.

ආහාරයේ පොටෑසියම් ප්‍රමාණය කළමනාකරණය කිරීම

ආහාර ලේබල් හොඳින් පරීක්ෂා කිරීමෙන් ආහාරයක අන්තර්ගත පොටෑසියම් ප්‍රමාණය කොතෙක්ද යන්න නිරීක්ෂණය කර ගත හැකිය. ඒ අනුව පොටෑසියම් ප්‍රතිශත අඩු ආහාර වර්ග තෝරා ගත හැකිය. කෙසෙල්, දොඩම්, අර්තාපත්, තක්කාලි, සහ කිරි නිෂ්පාදන වැනි ඉහළ පොටෑසියම් ආහාර පිලිබඳ දැනුවත් වන්න.

පොටෑසියම් අඩු ආහාර තෝරා ගත යුතුමය. ඒ අනුව කොළ ඇපල්, බෙරීස් වර්ග, ගෝවා තෝරා ගන්න. තවද මුං ඇට, පළා වර්ග, වැනි අධික පොටෑසියම් අඩංගු ආහාරයක් ගත යුතු ප්‍රමාණ දැනගෙන පරිභෝජනය කරන්න.

පලතුරු සහ එළවළු පිස ආහාරයට ගන්න. එළවළු පිසීමෙන් ඒවායේ අන්තර්ගත පොටෑසියම් අඩු කරයි. එළවළු පිසීමට පෙරාතුව ජලයේ පොඟවා තබා කිහිප සැරයක්ම එහි ජලය මාරු කරන්න. පිසීමේදී වැඩි ජල ප්‍රමාණයෙන් එළවළු තම්බා ගැනීම නිසා පොටෑසියම් මට්ටම සෝදා හැරිය හැකිය.

මීට අමතරව පොටෑසියම් අඩංගු ආකලන සීමා කිරීමට හැකිය. ලුණු ආදේශකවල පොටෑසියම් ක්ලෝරයිඩ් සහ ඇතැම් ඇසුරුම් කළ ආහාරවල පොටෑසියම් ආකලන (රසායනික ද්‍රව්‍ය ) ඇත. ඒ අනුව මෙයාකාරයට සකස් කළ ආහාර සීමා කළ හැකිය.

නිර්දේශිත පරිදිම ඖෂධ ගැනීම කළ යුතුය. ඔබගේ වෛද්‍යවරයා පොටෑසියම් මට්ටම කළමණාකරණය කිරීමට ඖෂධ නියම කරන්නේ නම් ඒ උපදෙස්වලට අනුගතව ක්‍රියා කරන්න.

වකුගඩු රෝගයේදී ප්‍රමාණවත් ප්‍රෝටීන ප්‍රමාණයක් ලබා ගැනීම සහතික කිරීම

උසස් තත්වයේ ප්‍රෝටීන ප්‍රභවයක් තෝරා ගන්න. මාළු,කුකුල් මස් , බිත්තර සහ කිරි නිෂ්පාදන වැනි උසස් තත්වයේ ප්‍රෝටීන ප්‍රභවයක් තෝරා ගන්න. මෙම ආහාර වකුගඩුවලට අධික ආතතියක් එක් නොකර අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සපයයි.

අවශ්‍ය ප්‍රමාණයට පමණක් ප්‍රෝටීන ගන්න. ඔබේ සිරුරට අවැසි ප්‍රමාණයට පමණක් ප්‍රෝටීන ගත හැකිය. දිනකට ලබා ගත හැකි ප්‍රමාණය වකුගඩු ක්‍රියාකාරිත්වය මත වෙනස් වේ. මේ පිළිබඳ පෝෂණ වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

දවස පුරා ඔබ ගන්නා ප්‍රෝටීන ප්‍රමාණ බෙදා හරින්න. එක් වේලකට බොහෝ ප්‍රෝටීන ප්‍රතිශතයක් තෝරා ගැනීමෙන් වළකින්න. දවස මුළුල්ලේ නිර්දේශිත ප්‍රමාණ ලබා ගන්න. ශාක ප්‍රෝටීන ප්‍රභවයක්ද ඔබට සුදුසු වේ.

වැඩිහිටියකු ලෙස සෙඛ්‍ය සම්පන්න පරාසයක ඔබේ බර පාලනය කිරීම , සෞඛ්‍ය සම්පන්න නොවන මේදය එනම් සංතෘප්ත මේදය සහ සරල සීනි වර්ග භාවිතය අවම කිරීම, හැකිතාක් ක්‍රියාශීලි වීම, වකුගඩු රෝගය මෙන්ම දියවැඩියාව ආදී අනෙකුත් බෝ නොවන රෝග වළකා ගැනීමට ඔබට අඩිතාලම දමනු ඇත.

ලියන්නේ - මාධවී ධර්මරත්න.


RECOMMEND POSTS