අක්මාවට හානි කරන ඖෂධ
අක්මාව සතු ප්‍රධාන කාර්යයක් නම් ඖෂධ වර්ග, ඖෂධීය ශාක සහ පරිපූරක ඇතුළු අප මුඛයෙන් ගන්නා ද්‍රව්‍ය බිඳ හෙළීමය. මෙම කාර්යය අක්මාව මඟින් කාර්යක්ෂම ලෙස සිදු කරනු ලබයි.
විවිධ ඖෂධ වර්ග අලූතෙන් නිෂ්පාදනය කරන විට, ඒවා ජනතාවගේ ප්‍රයෝජනය සඳහා අනුමත කිරීමට ප්‍රථම, විශාල පිරිසක් උපයෝගී කරගෙන පුළුල් වශයෙන් අත්හදා බැලීම් කරනු ලබන අතර මෙහිදී අක්මාවට හානියක් නොවීමට වගබලා ගැනීමට විවිධ පර්යේෂණවලට ද භාජනය කෙරේ. මේ නිසා අලෙවිය සඳහා දැනට ඇති ඖෂධ වැඩිහරියක් අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට පවා බෙහෙවින් ආරක්ෂාකාරී තත්ත්වයක පවතී.
මෙම ආරක්ෂාකාරී තත්ත්වය හමුවේ වුවද සමහර අවස්ථාවල කිසියම් ඖෂධයක් ගැනීමෙන් පසු සමහරුන්ගේ අක්මාවට හානි සිදුවීමේ දුලබ නැඹුරුතාවක් ඇති බව අනාවරණය වී තිබේ. මෙය හැඳින්වෙන්නේ ඉඩියොසින්ක්රටික් ප්‍රතික්‍රියාව ලෙසටය. මෙවන් තත්ත්වය ඇතිවන්නේ කලාතුරකින් වන අතර ඒ පිළිබඳව අනාවැකි පළකිරීම අසීරු කාර්යයකි.
අත්හදා බැලීම්වලදී ආරක්ෂාකාරීයයි ඔප්පුවූ සමහර ඖෂධ සාමාන්‍ය භාවිතය සඳහා මුදාහල විට කලාතුරකින් ඒවා උපද්‍රව සහිත බව පෙනීගොස් ඇතත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඒවා භාවිතා කරති. අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට අහිතකර ඖෂධවල, ඒවා ඔවුන්ට නුසුදුසු බවට අනතුරු අඟවන නිවේදන ඇතුළත් වේ.
ඖෂධවලට සම්බන්ධ අක්මා හානිවල රෝග ලක්ෂණ මොනවාද?
අවස්ථා වැඩි හරියකදී රෝග ලක්ෂණ පහළවීමට ප්‍රථම අක්මාවට සෑහෙන ප්‍රමාණයක හානි සිදුවීමට ඉඩ තිබේ අක්මා ආබාධවල සාමාන්‍ය රෝග ලක්ෂණවලට කායික අපහසුතාව, ඔක්කාරය, ආහාර අරුචිය, පැතිරුණු කැසීම, කළු පැහැයෙන් මුත්‍ර පිටවීම සහ ඇස් හා සම කහ පැහැවීම ආදිය අයත් වේ. එහෙත් බොහෝ දෙනකුට මේ රෝග ලක්ෂණ කිසිවක් ඇති නොවීමටද ඉඩ තිබේ. රෝග ලක්ෂණ පහළවීමට ප්‍රථම අක්මාවට හානි සිදුවී ඇත්ද යන වග, රුධිර පරීක්ෂණ මඟින් දැන ගැනීමට පිළිවන. අක්මාවට හානි සිදුවිය හැකි ඖෂධයක් භාවිතා කරන විට රෝග ලක්ෂණ පළවීමට ප්‍රථම, අක්මාවට හානි සිදුවී ඇත්දැයි දැන ගැනීම සඳහා විටින් විට රුධිර පරීක්ෂණ කරන ලෙස වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත.
ඖෂධ මගින් අක්මාවට හානි සිදුවී ඇත්දැයි දැන ගැනීමට කරනු ලබන රුධිර පරීක්ෂණ.
ඖෂධයක් භාවිතා කිරීම ආරම්භ කරනවිට සාමාන්‍යයෙන් අක්මා පරීක්ෂණ නිරීක්ෂණය කිරීමේ අවශ්‍යතාවක් නැත. අක්මාවට හානි සිදු කරන බව අතීතයේදී පෙනී ගොස් ඇති ඖෂධයක් නිර්දේශ කිරීමට ඔබේ වෛද්‍යවරයා අදහස් කරන්නේ නම්, අක්මාව නිරීක්ෂණය කිරීමට කරනු ලබන වඩාත් සුලබ පරීක්ෂණ පංතිය ‘ලිවර් පැනල්’ නමින් හැඳින්වේ. රුධිර පරීක්ෂණ කිහිපයක් අයත් වන මෙමගින් අක්මාවට සිදුව ඇති හානි දැනගත හැකිය. ඒ.එස්.ටී,
ඒ.එල්.ටී සහ බිලිරුබින් නම් පරීක්ෂණ මේවාට අයත් වේ.
මෙම පරීක්ෂණවල මට්ටම් ඉහළ අගයක පැවතීමට වෙනත් හේතුද බලපානු ලබයි. මේ නිසා ඖෂධයක් භාවිත කිරීම ආරම්භ කිරීමට ප්‍රථම අක්මාව සාමාන්‍ය තත්ත්වයක පවතීද යන්න සහතික කර ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා බේස්ලයින් ලිවර් පැනල් නම් පරීක්ෂණ පංතියේ වාර්තාවක් ලබාගන්නවා. ඇත.
ඖෂධ භාවිතය ආරම්භ කළ විට මෙම පරීක්ෂණවල අගයන්හි සුළු වැඩිවීමක් දක්නට ලැබුණද සැලකිය යුතු අක්මා හානියක් එමගින් පෙන්නුම් නොකරයි. ඖෂධ භාවිතය නිසා හටගත් අක්මා හානි ලෙස වෛද්‍යවරු සැලකිල්ලක් දක්වන්නේ ඒ.එස්.ටී. සහ ඒ.එල්.ටී. මට්ටම් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයේ සිට පස් ගුණය දක්වා වැඩිවූ විට හෝ බිලිරුබින් මට්ටම් වැඩිවූ විටය. මෙම වැඩිවීම් සුළු ඒවා නම් ඖෂධ
දිගටම දෙමින් අක්මා පරීක්ෂණය නිරීක්ෂණය කරනු ලැබේ. බොහෝ අවස්ථාවල ඖෂධ දිගටම භාවිතා කරගෙන ගියද පරීක්ෂණ වාර්තා සාමාන්‍ය තත්ත්වයේ පවතී.
අක්මා හානි සිදුකළ හැකි සාමාන්‍යයෙන් භාවිතා කරනුු ලබන ඖෂධ මොනවාද?
වැඩි වශයෙන් අක්මා හානි සිදු කරන ඖෂධය ඇසිටමිනොෆෙන් යන නමින් හැඳින්වෙන පැරසිටිමෝල්ය. මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි අතර සෙම්ප්‍රතිශ්‍යාව හා ෆ්ලූ ආබාධ සඳහා මෙන්ම වේදනා නාශකයක් ලෙසද භාවිතයට ගැනේ. ඇස්ප්‍රින් අඩංගු නැතැයි නම් කර ඇති වේදනා නාශක ඖෂධ වැඩි හරියක ප්‍රධාන ද්‍රව්‍යය වශයෙන් පැරසිටිමෝල් අන්තර්ගත වේ.
නිර්දේශ කර ඇති පරිදි පැරසිටිමෝල් භාවිතා කරන්නේ නම් අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට පවා මෙය බෙහෙවින් ආරක්ෂාකාරී ඖෂධයකි. එසේ වුවද ඒවා එකවර විශාල ප්‍රමාණයක් ගැනීම හෝ දිගටම අධික මාත්‍රාවක් ගැනීම හෝ මඟින් අක්මාවට හානි සිදුවීමට ඉඩ තිබේ. නිරෝගී පුද්ගලයන් එක් වරකට පැරසිටිමෝල් මිලි ග්‍රෑම් 1000කට වැඩියෙන් හෝ දිනකට මි. ග්‍රෑම් 4000කට වැඩියෙන් හෝ නොගත යුතුය. මීට අමතරව නිරෝගී පුද්ගලයන් පවා ඇසටමිනොෆෙන් දිනපතා මි. ග්‍රෑම් 4000 බැගින් දින පහකට වැඩියෙන් නොගත යුතුය. අක්මා ආබාධවලින් පෙළෙන රෝගීන් ඇසිටමිනොෆෙන් භාවිතය දිනකට මි. ග්‍රෑම් 2000කට සීමා කළ යුතු අතර බරපතළ අක්මා ආබාධවලින් පෙළෙන්නේ නම් ඊටත් වඩා එය අඩුකළ යුතුය. ඔබට අක්මා ආබාධයක් නොමැති වුවත් සහනය සලසා ගැනීමට ඇසිටමිනොෆෙන් අවම ප්‍රමාණය භාවිතා කිරීමට වග බලාගන්න.
නිතිපතා මත්පැන් පානය කරන්නන්, පැරසිටිමෝල් මඟින් බරපතළ අක්මා හානි සිදුවීමේ වැඩි අවදානම් තත්ත්වයක පසුවෙති. දිනපතා මත් පැන් පානයෙන්, අක්මාව, සමහර ඖෂධ බිඳහෙළන ආකාරය වෙනස් කරයි. පැරසිටිමොල් සම්බන්ධයෙන්, මැත්පැන් භාවිතයෙන් ඒවායේ අඩංගු විස අතුරු නිෂ්පාදනයක් අක්මාවේ එක්රැුස්වීමට මඟ සලසන අතර එමගින් අක්මා ෙසෙල හානියට හෝ මරණයට හෝ පත් කරයි.
කොලෙස්ටරෝල් මට්ටම් අඩු කරන ඖෂධ මගින් අක්මා හානි සිදු කරයිද?
අක්මාවට බලපාන තවත් ඖෂධ කාණ්ඩයක් නම් ස්ටැටින්ස් යන නාමයෙන් හැඳින්වෙන කොලෙස්ටරෝල් මට්ටම් අඩුකරන ඖෂධයි. කොලෙස්ටරෝල් මට්ටම් අඩු කිරීම සඳහා දැනට නියම කරනු ලබන ඖෂධ ගණනාවක් මේවාට අයත් වේ. විශිෂ්ට තත්ත්වයේ ආරක්ෂක වාර්තා සහිත මෙම ඖෂධ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැනට භාවිතා කරන අතර සුළු අක්මා ආබාධවලින් පෙළෙන්නන් සම්බන්ධයෙන් පවා අක්මාවට හානි සිදුවූ බවට වාර්තා ලැබී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙනි.
මෙම ඖෂධ භාවිතය ආරම්භ කළ මුල් අවධියේ අක්මා පරීක්ෂණ වාර්තාවල අගය සුළු වශයෙන් වැඩිවීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයකි. බොහෝ දෙනෙක් සම්බන්ධයෙන් මේ වැඩිවීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයකට වඩා අඩු අතර, එම ඖෂධ දිගටම භාවිතා කළද පසුව එම අගය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. මේ ගණයට අයත් ඖෂධ භාවිතා කරන විට අක්මා පරීක්ෂණ නිරීක්ෂණයට භාජනය කිරීම යහපත් දෙයක් වුවත්, ඒවායේ අගය වැඩිවී ඇත්තේ සුළු වශයෙන් නම් ඖෂධ භාවිතය නතර නොකළ යුතුය.
ඖෂධීය ශාක හා පරිපූරක මඟින් අක්මාවට හානි සිදු කරයිද?
ඖෂධීය ශාක හා පරිපූරක ස්වභාවික ඒවා වුවද අක්මාවට විස සහිත විය හැකිය. මෙම පරිපූරක නිෂ්පාදනය හා බෙදාහැරීම නිර්දේශිත ඖෂධ මෙන් නිසි පරිදි විධිමත්ව සිදු නොකෙරේ. ‘ස්වභාවික’ නිෂ්පාදනය, ප්‍රමාණවත් අත්හදාබැලීම්වලින් තොරව හා සාර්ථකත්වය පිළිබඳව ලබාගත් සාක්ෂිවලින් තොරව අලෙවි කළ හැකිය. සමහර අවස්ථාවල පරිපූරක හෝ ඖෂධීය ශාක මඟින් අක්මා හානියක් සිදුකළ හැකිය. නිෂ්පාදනය කරන අවස්ථාවේදී ඒවාට ඇතුළු විය හැකි අපවිත්‍ර දෑ විස ද්‍රව්‍ය අක්මාවට විස සහිත වීමට ඉඩ තිබේ.
විටමින් පරිපූරක ද පමණ ඉක්මවා ගත හොත් අහිතකර විය හැකිය. විටමින් ‘ඒ’ හෝ යකඩ පමණ ඉක්මවා ගැනීමෙන් අක්මාවට සැලකිය යුතු හානි සිදුවීමට ඉඩ තිබේ.
අක්මා ආබාධවලින් පෙළෙන්නන් සමහර ඖෂධ භාවිතය නිසා අක්මාවට හානි සිදුවීමේ වැඩි අවදානම් තත්ත්වයක පසුවන්නේද?
කලාතුරකින් සිදුවුවහොත් හැර සුළු අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට පවා ආරක්ෂාකාරී ලෙස නිර්දේශිත මෙන්ම වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි ඖෂධ, නිර්දේශිත මාත්‍රාවට අනුව භාවිතා කළ හැකිය. හෙපටයිටිස් ‘සී’ හෝ මේදමය අක්මා වැනි සුළු අක්මා ආබාධවලින් පෙළීම, නියම කරනු ලබන ඖෂධයක් අක්මාවට විස සහිත වීමේ අවදානම වැඩි නොකරයි. එසේ වුවද කලින් සිට පවතින අක්මා ආබාධයකින් පෙළෙන තැනැත්තෙකුට ඖෂධ භාවිතය නිසා අක්මාවට හානි සිදුවුවහොත්, එම ප්‍රතික්‍රියාවම ඇතිවන නිරෝගී පුද්ගලයකුට වඩා මුලින් සඳහන් තැනැත්තාට සිදුවන හානිය වඩා දරුණුවීමට ඉඩ තිබේ. ඒ නිසා කිසියම් තැනැත්තෙක් අක්මා ආබාධයකින් පෙළෙන බව දැනගත් විට, ඔහුට, අක්මාවට ආරක්ෂාකාරී ඖෂධ නියම කිරීමට වෛද්‍යවරු හැමවිටම පෙළඹෙති.
සිරෝසිස් වැනි බරපතළ අක්මා ආබාධවලින් පෙළෙන තැනැත්තන් ඔවුන් ගන්නා ඖෂධවල වර්ණය හා මාත්‍රාව පිළිබඳව වැඩියෙන් සැලකිලිමත් විය යුතුය. දරුණු අක්මා ආබාධවලින් පෙළෙන්නන්ට සමහර ඖෂධ නොදිය යුතු අතර සමහර ඖෂධ දිය යුත්තේ අඩු මාත්‍රාවකි.
ඖෂධ මඟින් අක්මාවට සිදුවන හානි අවම කර ගැනීම සඳහා මා කුමක් කළ යුතුද?
1. ඔබ ගන්නා ඖෂධීය ශාක, විටමින් වර්ග හා පරිපූරක ඇතුළු නිර්දේශිත හා වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගන්නා සියලූ ඖෂධ වල ලැයිස්තුවක් තබාගන්න. ඔබ ප්‍රතිකාර ගැනීමට යන සෑම වෛද්‍යවරයකුටම මෙය පෙන්වන්න.
2. අවම ඖෂධ ප්‍රමාණයක් ගැනීම වඩාත් හිතකරය. මේවාට ඖෂධීය ශාක, පරිපූරක නිර්දේශිත හා වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගත හැකි ඖෂධ ආදිය අයත් වේ. ඔබ වෛද්‍යවරු කිහිප දෙනෙකුගෙන් ප්‍රතිකාර ගන්නේ නම් ඔවුන් නියම කරන ඖෂධ ඔබේ ඖෂධ ලැයිස්තුවට ඇතුළත් කිරීමට වග බලා ගන්න.
වෛද්‍ය නිර්දේශයකින් තොර ඖෂධ ලබාගන්නා විට ලේබලය හොඳින් කියවීමටත්, නිර්දේශිත ප්‍රමාණය නොයික්මවීමටත් වග බලාගන්න. වෛද්‍යවරයා නොවිමසා නිර්දේශිත උපරිම මාත්‍රාව දීර්ඝ කාලයක් ගැනීමෙන් වැළකී සිටින්න.
4. ඔබ ඖෂධ කිහිපයක් ගන්නා අයෙක් නම් ඒවායේ අන්තර්ගත ද්‍රව්‍ය එකම ඒවා නොවන බවට වග බලා ගන්න. එමගින් නියමිත මාත්‍රාව ඉක්මවීම නිසා එය අනතුරුදායකවීමට ඉඩ තිබේ.
5. ඔබ දිනපතා මත්පැන් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්නා අයෙක් නම් පැරසිටිමෝල් භාවිතය සීමා කරන්න. නැතිනම් නොගෙන සිටින්න. කිසි විටක නිර්දේශිත උපරිම මාත්‍රාව නොගන්න.
6. ඔබ අක්මා ආබාධයකින් පෙළෙන්නේ නම් ඒ බව හා එහි උත්සන්නතාව පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්න.
7. ඔබ සිරෝසිස් වැනි බරපතළ අක්මා ආබාධයකින් පෙළෙන අයෙක් නම්, අලූතෙන් ඖෂධයක් භාවිතය ආරම්භ කිරීමට ප්‍රථම ඒ පිළිබඳව අක්මා රෝග විශේෂඥ වෛද්‍යවරයා විමසීම නුවණට හුරුය.
පරිවර්තනය - කේ.එන්. ඕ. අමරදාස.