හැකි සෑම පියවරක්ම ගන්නවා



සියලු පුරවැසියන් සඳහා සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සහ සෞභාග්‍යයෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී (21) පැවැසීය.

මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් ස්ථාන කිහිපයක මෑතකදී ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් කනගාටුවට පත්වන  බවත් පාර්ශ්ව කිහිපයක් එම ක්‍රියා සිදු කළේ මෙම කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට හානි කිරීමේ අරමුණින් බවත් අමාත්‍යවරයා එහිදි කීවේය.

ඇමැතිවරයා එසේ ඛීවේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී අදහස් දක්වමිනි.

එහිදි අදහස් දැක්වූ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මෙසේ ද කීවේය.

“මම මගේ කැබිනට් සගයන් වන විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් සමඟ මෙහි සහභාගී වී සිටිනවා. අපි තිදෙනා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක මෙන්ම ජාතික ආණ්ඩුව නියෝජනය කරනවා. අපි මෙහි පැමිණියේ එකමුතුව එක හඬක් නැගීමටයි.

සංහිඳියාව, නීතියේ ආධිපත්‍යය, යහපාලනය, මානව හිමිකම්, යුක්තිය හා සාධාරණත්වය, සමානාත්මතාව සහ අපේ සියලු පුරවැසියන්ගේ අභිමානය ආරක්ෂා කිරීම සඳහා අපි ඇප කැප වී කටයුතු කරනවා.

මානව හිමිකම් මහ කොමසාරිස්, නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ සහ මානව හිමිකම් කාර්යාලයේ අඛණ්ඩ සහ අර්ථාන්විත සහයෝගය අපි අගය කරනවා.  ව්‍යවස්ථාව යටතේ කිසිදු වෙනස්කමකට යටත් නොවී සමාන ආරක්ෂාව සහා නීතිය යටතේ ජීවත්වීමට සියලු පුරවැසියන්ට ඇති අයිතිය හා නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට අපි ඇප කැප වී කටයුතු කරන බව මෙහිදි අවධාරණය කළ යුතුයි.   

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ මෙහෙයුම් කටයුතු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල වශයෙන් ආරම්භ කළා. පසුගිය පෙබරවාරි 28 වැනිදා එම කාර්යාලයට සභාපතිවරයකු සහ සාමාජිකයන් පත්කළා. ඒ වගේම මේ වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැයෙන් කාර්යාලය සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 9ක්   වෙන් කළා.

ගැටුම් පැවැති සමයේදී හමුදාවට පවරාගත් ඉඩම්වලින් සියයට 70ක වැඩි සංඛ්‍යාවක නැවත ජනතාව පදිංචි කර තිබෙනවා. ඒවායේ අයිතිකරුවන්ට එම ඉඩම් ලබා දී තිබෙනවා. පසුගිය වසරේදී ක්‍රියාවට නංවන ලද තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රතිලාභ මහජනතාව භුක්ති විඳිනවා. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුති පනත කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තා.  

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තීන්වලට අනුකූල නව පනත ඉදිරියේදී ගෙන එනවා. සත්‍ය සහ සංහිඳියා කොමිසම පිළිබඳ පනත කෙටුම්පත් අවස්ථාවේ තිබෙන්නේ. ඒ වෙනුවෙන් පත් කරන ලද උපදේශන කාර්ය සාධන බලකායේ නිර්දේශ මත එය ක්‍රියාවට නැංවෙනවා.  එය ඉදිරියේදී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා.

මුස්ලිම් ජනතාව ඉලක්ක කරගනිමින් මෑතකදී එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අපි දැඩි සිත් තැවුලටත් කනගාටුවටත් පත් වෙනවා. එම සිදුවීම්   බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී, නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කරන ලද සමාන අයිතිවාසිකම් සහිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අපේ දැක්මට පටහැණි.

මෑතකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට වගකිව යුත්තන්ට එරෙහිව අපි දැඩි නීතිමිය පියවර ගන්නවා. සිදු වූ අඩුපාඩු හා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් විමර්ශන  ආරම්භ කර තිබෙනවා. එමෙන්ම එවැනි සිදුවීම් නැවත ඇති නොවීම සඳහා අපි දැඩි පියරව ගන්නවා. මේ සිදුවීම් පිටුපස මෙම කවුන්සිලයේදී ශ්‍රී ලංකාව හා රජය අපහසුතාවයට පත් කිරීමට උත්සහ කරන කල්ලි කණ්ඩායම් හා පක්ෂ සිටින බව අපි විශ්වාස කරනවා. ඒ නිසා කිසිවකුටත් සාමකාමී, ස්ථාවර, සංහිඳියාව හා සෞභාග්‍යයෙන් යුතු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අපේ ගමන නවතාලන්නට ඉඩ තබන්නේ නැහැ.

ජනතාව උසිගන්වා වෛරී සහ සාවද්‍ය ප්‍රචාර පැතිරවීමට පමණක් නොව ප්‍රහාර සංවිධානය කිරීමටද සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල පණිවිඩ සේවා ප්‍රයෝජනයට ගන්නා බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තාවකාලික සීමාවන් පනවන්නට රජයට සිදු වුණා. ඒ සියලු සීමාවන් දැන් ඉවත් කර තිබෙනවා. මෙම අත්දැකීමෙහි ප්‍රතිඵලයක් ලෙස, වෛරී භාෂණය වැලැක්වීමේ අරමුණෙන් රජය සමාජ මාධ්‍ය මෙහෙයවන්නන් සමග ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී සිටිනවා.  

ප්‍රජාවන් ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් 2018 මාර්තු 06 වැනි දින රජයට පනවන්නට සිදුවූ හදිසි අවස්ථා රෙගුලාසි 2018 මාර්තු 17 වැනි දින ඉවත් කළා.

දිගුකල් පවත්නා සාමයෙන් සහ සංහිඳියාවෙන් පමණක් උදාකර ගත හැකි සාධාරණ සමාජ-ආර්ථික සංවර්ධනයක් අපගේ පුරවැසියන්ට ලබාදීමට අප බැඳී සිටින බවද අප හොඳන් දන්නවා.  එබැවින්, අප මුහුණ දෙන සමාජ-දේශපාලන සහ ආර්ථික අසීරුතා මධ්‍යයේ වුව, අපගේ පුරවැසියන් සියලු දෙනා වෙත සංහිඳියාවෙන් සැනහුණු, සාමකාමී, ස්ථාවර සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳ අපගේ දැක්ම යථාර්ථයක් කරගැනීම උදෙසා අපි සියලුම ප්‍රයත්න දරනවා. මේ සන්දර්භය තුළත්, මෙතෙක් කල් ශ්‍රී ලංකාව විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මහකොමසාරිස්වරයා විසින් කරන ලද නිරීක්ෂණවලට ප්‍රතිචාර වශයෙනුත්, ශ්‍රී ලංකාව 2017 පෙබරවාරි 28 වැනිදා මෙම කවුන්සිලයේ 34 වැනි සැසිවාරය ඇමතූ තැන් පටන් අප විසින් අත්කරගෙන ඇති සුවිශේෂීම ජයග්‍රහණ මෙහි සඳහන් කළ යුතුයි.

සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ ගැටුම් යළි ඇති නොවීම ගැන සහතික වීම ප්‍රවර්ධනය කරන්නට ශ්‍රී ලංකාව තුළ ඇති තිර කැපවීම, කැමැත්ත සහ හැකියාව ප්‍රදර්ශනය කරමින් පසුගිය වසර තුළත්, ඊට පෙරත් විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා.

සංහිඳියා, අධිකරණ සහ හානිපූරණ ක්‍රියාදාමයන් ජාති, ආගම්   භේදයකින් තොරව ගැටුම්වලින් හානියට පත් සියලු ජනකොටස් වෙනුවෙන් ක්‍රියාත්මක බවත්, අතුරුදන් වූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ පවුල්වල අයද ඊට ඇතුළත් බවත් අප හොඳාකාරවම දන්නවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තේරීපත් වී සති කිහිපයකට පසු 2015 පෙබරවාරි මාසයේදී පැවැති නිදහස් දින සමරුවේදී රජය විසින් විධිමත් සාම ප්‍රකාශනයක් කළා.

 “ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩත්වය අවසන් වී ඇත. සුවපත්වීමටත් තිරසර සාමය හා සියලු දෙනාගේ ආරක්ෂාව ගොඩනැංවීමටත් අවශ්‍ය කරන කාලය හා අවකාශය අප වෙත පැමිණ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පුරවැසිභාවයේ ඵල සියලු දෙනාම සමාන ලෙස භුක්ති විඳීම සහතික වනු වස් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම දැන් අප කළ යුතු” යැයි එහි සඳහන් වුණා.

අපගේ සියලු පුරවැසියන් එක්සත්ව, ජාති සහ ආගම් භේදවලින් තොරව, දුක්ඛදායක ගැටුම්වල උරුමය මැඬලා අපගේ ජාතිය තිරසර සාමය සහ සෞභාග්‍යය කරා කැඳවාගෙන යන මේ දැක්ම අපි අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.

ඔබ දන්නා පරිදි, ගැටුම් අතරතුරදී ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග, අපගේ රටෙහි සිටින කිසියම් හෝ ජනකොටසකට එරෙහිව නොව රටවල් රාශියක් විසින් ත්‍රස්තවාදී සංවිධානයකැයි නම් කරනු ලැබූ කණ්ඩායමකට එරෙහිව ගත් ඒවා විය. මෑත ඉතිහාසයේදී පළමු වරට සිතා මතාම සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගත් එම ත්‍රස්තවාදී කණ්ඩායමේ ක්‍රියා පිළිවෙත දැන් ලොව පුරා සෙසු ත්‍රස්තවාදී කණ්ඩායම්ද භාවිතයට ගෙන තිබෙනවා. අපගේ රටෙහි වූ ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ සියලු ජනකොටස් ඒකරාශී වූ අතර, දැන් ත්‍රස්තවාදය පරාජය කොට ඇති බැවින්, ඒ සියලු ජනකොටස් සංහිඳියාව සහ රටේ ආර්ථික ප්‍රගතිය උදෙසා ඒකාත්මිකව කටයුතු කරනවා.

සංහිඳියා සහ සංවර්ධන න්‍යාය පත්‍රය රජයට පමණක් තනිව වැඩ කිරීමෙන් සාක්ෂාත් කරගත නොහැකියි. දේශපාලන පක්ෂවල, සිවිල් සමාජයේ, විද්වතුන්ගේ, ව්‍යාපාරික ප්‍රජාවෙහි, ජනමාධ්‍යවල මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ සහභාගීත්වය මෙම වැදගත් ජාතික කර්තව්‍යයෙහිලා අත්‍යාවශය වෙනවා.

අපගේ සියලු පුරවැසියන්ට සාමකාමී, ස්ථාවර, සංහිඳියාවෙන් සැනහුණු සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් කරා මාවත සකසන, අප විසින් අපගේ ජනතාවට දෙන ලද ප්‍රතිඥාවන් ඉටුකිරීමෙන් අප වලකාලන්නට කිසිවකුට නුපුළුවන් බව අවංකභාවයෙන් සහ අවබෝධයෙන් යුතුව අවධාරණය කරනවා.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

මෙහිදි ජර්මානු හා ස්විට්සර්ලන්ත නියෝජිතයෝ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවල නිර්දේශ ක්‍රියාත්මක කරන කාලසීමාවක් ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ යුතු යැයි ජර්මානු නියෝජිතයා පැවැසීය.

මුස්ලිම් ජනතාවට එල්ල වූ ප්‍රහාර වළක්වා ගැනීමට ශ්‍රී ලංකා රජය අසමත් වූ බව ප්‍රකාශ කළ ස්විට්සර්ලන්ත නියෝජිතයෝ 30/1 සහ 34/1 යෝජනාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහිමකට පත්විය නොහැකි යැයි ද කීහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS