සඳහිරු මහ සෑය සසුනට පිදේ



තිස් වසරක යුද්ධයේ දී දිවි පිදූ සහ ආබාධිත තත්වයට පත් රණවිරුවන්ට උපහාර දැක්වීමේ අරමුණින් අනුරාධපුර පුජා නගරයේ ඉදිකෙරුණු ‘සඳ හිරු සෑය’ වන්දනා මාන කටයුතු වෙනුවෙන් විවෘත කරමින්, සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) සිදුකෙරිණි.

උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නා හිමියන් විසින් දේවාරාධනාව සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සඳ හිරු සෑයේ කොත නිරාවරණය කිරීම සිදුවූයේ තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට නායකත්වය ලබාදුන් හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතිනි.

මෙහි ඉදිකිරීම් 2010 වසරේ දී ආරම්භ වූයේ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ඔවුන්ගේ මූලිකත්වයෙනි.

මානුෂීය මෙහෙයුම 2009 වසරේ මැයි මස 19 වනදා නිමා කරමින් යුද්ධය නිම කිරීම තෙක් සිදුකළ තිස් වසරක යුද මෙහෙයුම්වලදී රට වෙනුවෙන් දිවි පිදූ 29,000 ක් වන රණවිරුවන් සහ තුවාල ලැබූ සහ ආබාධිත තත්වයට පත් 37,000 ක පමණ රණවිරුවන් කළ අමිල කැපකිරීම සදා අනුස්මරණය කිරීම සඳහිරු සෑය ඉදිකිරීමේ අරමුණ වී තිබේ.

මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවූයේ ද රණවිරුවන් අතින්මවීම විශේෂත්වයකි.

බුබ්බුලාකාර හැඩයෙන් ඉදි කෙරුණු සඳහිරු සෑයේ උස අඩි 282 කුත් අඟල් 6 ක් වන අතර එය උසින් දෙවැනි වන්නේ අනුරාධපුර රුවන්වැලිසෑයට පමණි. එහි විෂ්කම්භය අඩි 255 ක් වන අතර වට ප්‍රමාණය අඩි 801කි. සඳහිරුසෑය ඉදිවන සම්පූර්ණ භූමිය අක්කර 13ක් වන අතර වැලි මළුව අක්කර 6ක් රූඩ් එකක් හා පර්චස් 30 ක් වේ.

සලපතළ මළුවට අක්කර 4 ක් හා රූඩ් 2 ක් අයත්ය. ආරම්භක සැලසුම අනුව මෙහි සියලු වැඩ කටයුතු 2016 වසරේදී අවසන් කිරීමට යෝජිතව තිබුණත් පසුගිය යහපාලන රජය සමයේ එහි ඉදිකිරීම් අතරමග නැවතීම හේතුවෙන් ඉදිකිරීම් අවසන් කිරීම කල් ගත විය.

මෙම වෛත්‍ය රාජයාණන් වහන්සේ සඟ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින්, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, අඹුදරුවන්, ආබාධිත රණවිරුවන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

සඳහිරු සෑය විවෘත කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණ සැමරුම සහ අග්‍රාමාත්‍යවරයාගේ ජන්ම දිනය යෙදී තිබූ දිනයේදී මෙන්ම ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේදීවීම විශේෂත්වයකි.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS