විදේශගත ශ්‍රමිකයන්ට සෙත සලසන ‘ශ්‍රමික සුරැකුම‘ වැඩ සටහන



විදේශ රැකියා ඇමතිනී

තලතා අතුකෝරල මහත්මිය

විස්තර කරයි

 

ඔබ  විදේශ රැකියාවක නියුතු කෙනෙක් ද? එසේ නම් ඔබ විසින් මේ තොරතුරු කියැවිය යුතුමයි. බලන්න මේ ගැන ඔබ දන්නවාද කියා.මේ උපදෙස් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මියගෙන්.

විිදේශ රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සුභසාධනය පවා ශ්‍රි ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ වගකීම් අතරට වැටෙනවා. රටට වැඩිම ආදායම ගෙන එන ශ්‍රමිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද රැක බලා ගැනීම රටේ යුතුකමක්.

  විදේශ රැකියා අමාත්‍යංශය යටතේ 2016 ජනවාරි 8  වන දින ශ්‍රමික සුරැකුම වැඩසටහන ආරම්භ කළේ මේ වගකීම ඉටු කරන්නයි. එමඟින් අමාත්‍යංශයට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ කාර්යභාරය වෙනදාට වඩා වෙනස් වී තිබෙනවා.

මේ නිලධාරීන්ගෙන් අපේක්‍ෂා කරන්නේ විදෙස්ගත පවුල්වල සුභසාධන කටයුතු සොයාබලා අවශ්‍ය පහසුකම් නිවැරදිව මෙම පවුල් සඳහා ලබාදීම මූලික කොටගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමයි.

2015 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කල මෛත්‍රි පාලනයක්- ස්ථාවර රටක් ප්‍රතිපත්ති මාලාවේ විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ප්‍රධාන කාරණා 3ක් සඳහන් කර තිබූ අතර, ඉන් විදෙස්ගත පවුල්වල සුභසාධනය පිළිබඳව සොයාබැලීම ප්‍රධාන කාරණයක් බවට පත්වන්නේ ඒ හරහා විදෙස්ගත පවුල්වල කටයුතු සොයාබැලීමේ වගකීම විදේශ රැකියා අමාත්‍යංශයට අනුයුක්ත සංවර්ධන නිළධාරීන්ට පැවරීම මඟිනි. 

මෙමගින් විදෙස්ගත පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සෞඛ්‍යමය ගැටළු ඔවුන්ට පැන නැගෙන සමාජීය ගැටළු සොයාබැලීම මූලික අරමුණ කරගනිමිනි.

කෙසේ නමුත් පහුගිය කාලයේ සංවර්ධන නිළධාරීන්ගේ ප්‍රධානම කාර්්‍යභාරය ලෙස පැවතියේ ගෘහ පාලන සහයිකාවන් ලෙස විදේශ ගතවන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තාව සකස් කර දීමයි.

එහෙත් වර්තමානය වන විට ශ්‍රමික සුරැකුම යටතේ තම රාජකාරි ප්‍රදේශයේ විගමණික ශ්‍රමිකයින් පිළිබඳව සිතියමක් සකසා සෑම විගමණික ශ්‍රමික පවුලක් සඳහාම ලිපිගොනුවක් සැකසීම හා එහි දත්ත යාවත්කාලීන කරමින් සෑම විගමණික පවුලක් සඳහාම සමාජ වාර්තාවක් සැකසීම, අවදානම් සහිත පවුල් හඳුනාගෙන එම පවුල් සඳහා පවුල් සංවර්ධන සැලැස්මක් සැකසීම මූලික කාර්ය භාරය වේ.

2016 ජනවාරි 8 දින සිට ජනවාරි 14 දක්වා ශ්‍රමික සුරැකුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම විදෙස්ගත පවුල්වල තොරතුරු එකතු කර ගැනීම සිදුකළ නමුත් මෙම තොරතුරු ලබාදීම සඳහා දිවයිනෙන්ම 95,000ක පමණ පිරිසක් ලියාපදිංචි වූ අතර,  එම වැඩසටහන තවදුරටත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාල හරහා සිදුකෙරෙනවා.

 මෙම වැඩසටහන මඟින් බලාපොරොත්තු වන්නේ දිවයිනේ විදෙස් ගතවී රැකියා කරන පවුල් කොපමණ ගණනක් සිටින්නේද යන්න නිවැරදිව තහවුරු කරගැනීමත් ඒ හරහා සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි. පසුගිය සමයේ විදෙස්ගත පවුල්වල සමාජ පරිසරය පිළිබඳව අධ්‍යනය කිරීමේදී පෙනී ගිය කරුණක් වන්නේ ඔවුන්ගේ පවුල් සංස්ථාව බිඳවැටීම සිදුවී ඇති බවයි.

එම තත්වයන් පාලනය කරගැනීමට කටයුතු කිරීම සංවර්ධන නිලධාරීන්ගේ කාර්යභාරයේ තවත් වැදගත් කොටසක් ලෙස හැඳින්විය හැකියි. තමන් සිදුකරන්නේ රාජකාරියකට එහා ගිය ජනතා මෙහෙවරක් බව සිතා කටයුතු කරන ලෙස මා ඔබෙන් ඉල්ලනවා.

                ඔබ විදේශ ගතව සිටින අයෙකු නම්, මෙතෙක් ඔබේ පවුලේ සාමාජිකයින් විසින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවුනේ නම් හැකි ඉක්මණින් ලඟම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිටින සංවර්ධන නිළධාරියා හමුවන ලෙස පවුලේ අයට දන්වන්න. ඒ සඳහා ඔබට මුදලක්  වැය වෙන්නේ නැහැ. නමුත් ඔබට ප්‍රතිලාභ රැසක් හිමිවේවි.

(සටහන - විනීතා එම් ගමගේ)

 


RECOMMEND POSTS