ලංකාවෙන් හමුවුණු අලුත් මදුරුවා



ලොව භයානකම සතා මදුරුවාය. මදුරු දෂ්ටනයෙන් සිදුවන මරණ, මදුරුවා කොතරම් බිහිසුණුදැයි අපට කියාපායි. මදුරුවන් නිසා වාර්ෂිකව සිදුවන මරණ, හත් ලක්ෂ විසි පන්දහස ඉක්මවයි. ඔබ මේ සටහන කියවද්දී ඩෙංගු මෙන්ම චිකන්ගුන්යා රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි. ඩෙංගු සහ චිකන්ගුන්යා බෝ කරන්නේ ඊඩීස් වර්ගයේ මදුරුවාය. 

මේ වනවිට ලොව නන්දෙසින් මදුරු විශේෂ 2500 ක් පමණ සොයා ගෙන ඇත. පසුගිය දා අපේ රටින් සොයා ගත් නව මදුරුවා කියුලෙක්ස් සින්ටෙල්ස් Culex (Lophoceraomyia) Cintellsයනුවෙන් නම් කර ඇත. මේ මදුරුවා කුරුල්ලන්ගේ ද රුධිරය උරා බොන්නකු බව ජාතික වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යා නිලධාරී ගයාන් කුමාරසිංහ මහතා පැහැදිලි කරයි. එමනිසා ඉදිරියේ දී කුරුල්ලන්ගේ රුධිරයේ පවතින කුරුලු උණ වැනි අහිතකර වෛරස වර්ග ද ඔවුන් හරහා මිනිස් රුධිරයට ද එකතු වීමට හැකි බව ගයාන් කුමාරසිංහ මහතා අනතුරු අඟවයි.

“Culex (Lophoceraomyia) Cintellsනම් මදුරු විශේෂය පළමුවරට විස්තර කරනු ලැබුවේ 1922 වර්ෂයේ දී ෆෙඩ්‍රික් වාලස් එඩ්වඩ්ස් විසිනි. මොවුන් මුලුමනින්ම වාසය කරන්නේ ආසියාවේ උෂ්ණ හා උප උෂ්ණ කලාපීය රටවලය. නමුත් එම රටවල වාර්තා වී ඇති ක්‍මකැං ක්‍සබජඑැකකමි මදුරුවා මිනිසුන්ගේ රුධිරය උරා බොන බවක් පිළිබඳව කිසිම වාර්තාවක සඳහන් වන්නේ නෑ, නමුත් පළමු සොයා ගැනීමෙන් වසර 100 කට පසු ශ්‍රී ලංකාවෙන් සොයාගත් මදුරුවා මිනිසුන්ගේ රුධිරය උරා බොන මදුරුවෙක්. අප මුලින් සිතුවේ මේ මදුරු විශේෂය කුරුල්ලන් ගේ රුධිරය උරා බොන මදුරු විශේෂයක් ලෙසයි. නමුත් අපිට තවදුරටත් පර්යේෂණ සිදු කරනවිට වැටහුණා මේ මදුරු විශේෂය කුරුල්ලන්ගේ වගේම මිනිසුන්ගේත් රුධිරය උරා බොන්න රුචිකත්වයක් දක්වන බව” යැයි ගයාන් කුමාරසිංහ මහතා පවසයි.

“මේ Culex Cinctellusමදුරුවන් දැනට ශ්‍රී ලංකාවේ නාගරික බරවා රෝගය බෝ කරන Culex quinquefasciatus මදුරුවට බාහිර රූපීව හා ජානමය ලෙස බොහො සමානයි. නමුත් මේ Culex quinquefasciatus බරවා මදුරුවා රුධිරය උරා බොන්නෙ රාත්‍රී අටෙන් පසු වුවත්, Culex quinquefasciatus මදුරුවා සවස 5 පසුවෙනවා සමඟම සමග රුධිරය උරා බොන්න පටන් ගන්නවා. දැනට තියෙන පර්යේෂණ අනුව අපට පැහැදිලි වෙලා තියෙන්නේ දැනට මේ මදුරුවා ගෙන් අපට කිසිම හානියක් නොමැති බවයි. නමුත් ඉදිරියේදී එය සිදුවීමට ඉහළ සම්භාවිතාවක් තියෙනවා. මේ මදුරු විශේෂය අන්තර්ජාතිකව ප්‍රකාශනයට පත් කිරීම සඳහා ජානමය වශයෙන් තහවුරු කර ගැනීමට අපට අවශ්‍ය වූ නිසා දකුණු කොරියානු රසානාගාරයක් වෙත යවා ජාන විශ්ලේෂණ වාර්තාවක් ලබාගත්තා.” යැයි ගයාන් කුමාරසිංහ මහතා පැහැදිලි කර ඇත.

කවිඳු දිල්ෂාන්


RECOMMEND POSTS