යුනෙස්කෝවට ගෙනා යෝජනාවට ඡන්දය නුදුන්නේ ඇයි? - විදේශ ඇමැති පැහැදිලි කරයි
පලස්තීනයට සහාය පිණිස යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේ අපේ රටේ ප්‍රතිපත්තියට අනුව මිස පලස්තීන විරෝධයක් මත නොවේ යැයි විදේශ කටයුතු අමාත්‍යා මංගල සමරවීර මහතා කීය
ප්‍රතිපත්ති ගරුක රටක් සහ රජයක් වශයෙන් එම යෝජනාව සඳහා කිසිසේත්ම එකඟ විය නොහැකි බවද පලස්තීනය අපේ මිතුරෙකු වන හෙයින් ඊට විරුද්ධ නොවී ඡන්දය දීමෙන් වැළකී සිටි බවද ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඇමැතිවරයා මේ බව සදහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූඅ ඇමතිවරයා පැවසූයේ , පසුගිය 13 දා පලස්තීනයට සහාය පිණිස ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ දී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටීම සම්බන්ධව ඇතැම් දේශපාලන කණ්ඩායම් කිඹුල් කඳුළු හෙළමින් සැබෑ තත්ත්වය විකෘති කිරීම සඳහා කටයුතු කරන බවය.
ශ්‍රී ලංකාව පලස්තීන ප්රශ්නය ආරම්භයේ සිට නිදහස් පලස්තීනයක් වෙනුවෙන් සහාය දී තිබෙන අතර අදත් එලෙසින්ම සහාය ලබාදෙන බවද කුමන පක්ෂයක් මේ රට පාලනය කළද පලස්තීන ප්‍රතිපත්තිය කිසිඳු අවස්ථාවක වෙනස් නොවුණු බවද සදහන් කරන ඇමැතිවරයා 1988 වසරේ පලස්තීන රාජ්‍යය පිහිටුවීම සඳහා ප්රකාශනය නිකුත්කළ අතර එය නිකුත්කොට දින තුනක් ඇතුළත එවකට ශ්‍රී ලංකා රජය පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගත් බවද අදටත් එය එසේම පවතින බවද සදහන් කළේය.
පලස්තීන - ඊශ්‍රායල ගැටළුව නිරාකරණය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක් අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජය හැමවිටම සිතන බවත් , ස්වාධීන රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලයට ද සහාය ලබාදෙන බවද ඊශ්‍රායලය හා පලස්තීන රාජ්‍යයන් දෙකක් යන්න පිළිගනිමින් එම රාජ්‍යයන්ට ශ්‍රී ලංකාව හැමවිටම සහාය ලබාදෙන්නේ යැයිද ඔහු කීය.පලස්තීනය එක්සත් ජාතීන්ගේ පූර්ණ රාජ්‍යයක් ලෙස පිළිගැනීම සඳහා වන කරුණේ දී ශ්‍රී ලංකාව සහාය ලබාදී තිබෙන බව කී ඇමැතිවරයා පසුගිය වසරේ දී සාමාජික නොවන නිරීක්ෂණ රාජ්‍යයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය ජාතික කොඩිය එසවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට ද ශ්‍රී ලංකාව සහාය ලබාදී තිබෙන බව හෙතෙම කීවේය.
යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව ජෙරුසලමේ ටෙම්පල් මවුන්ට් නැමැති පූජනීය ප්‍රදේශයේ ඇති පූජනීය ස්ථානයන්ට අනන්‍ය වූ අරාබි නම් වලින් පමණක් හැදින්විය යුතු බවට සදහන්කර තිබෙන අතර මෙම ප්‍රදේශය ඵෙතිහාසික ප්‍රදේශයක් බවද ලොව ප්‍රධාන ආගම් තුනක සිද්ධස්ථාන එහි වන බවද පෙන්වා දුන්නේය. ඇමැතිවරයා සදහන් කළේ එම පූජනීය ප්‍රදේශයට ඇතුළත්වීම සීමා පැනවීම ආදිය ආගමික සම්ප්‍රදායන් පහත්කොට සැලකීමක් වන අතර එහි පූජනීයත්වය කෙලෙසී යන බවත් යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල්වරිය සදහන් කළ බවත්ය.
සියලුම ආගම් රැක ගැනීමට සහ අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට දිඟින් දිඟටම කටයුතු කළ රජයක් වශයෙන් එක් ආගමකට පමණක් සීමා කිරීම සඳහා ගත් උත්සාහයේ දී ප්‍රතිපත්තිමය වශයෙන් එකඟවිය නොහැකි හෙයින් ඡන්දය දීමෙන් වැළකී සිටි බවද මේ යෝජනාවට පක්ෂව රටවල් 23ක් ඡන්දය ලබාදෙන විට ශ්‍රී ලංකාව මෙන් තවත් රටවල් 28ක් ඡන්දය දීමෙන් වැළකී සිටින බවද තවත් රටවල් කිහිපයක් ඡන්දය ලබාදුන් බවද පැවසීය. මේ යෝජනාවට විපක්ෂව රටවල් 6ක් ඡන්දය ලබාදුන් බවද හෙතෙම සදහන් කළේය.
( තිළිණි ද සිල්වා )