මුතු රාජා ගුවන් ගමනට පුහුණුවෙයි



අලුත්ගම කන්දෙවිහාරයේ ‘මුතුරාජා’ හස්ථියා ලබන ජූලි මස 2 වැනිදා ගුවනින් තායිලන්තයට ගෙන යෑමට නියමිත අතර ‘මුතුරාජා’ගේ ගුවන් ගමන ලෝක ගුවන් ඉතිහාසයේ ඵෙතිහාසික අවස්ථවක් වනු ඇති බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති.  

අලංකාර දළ යුගළකින් යුත් 29 වැනි වියේ පසුවන ‘මුතුරාජා’ කිලෝග්‍රෑම් 4000 ක් හෙවත් මෙටි්‍රක්ටොන් 4 කට ආසන්න බරකින් සහ උස අඩි 9 ක් වන අතර ගුවන් ගමනට සූදානම් කර ඇති විශේෂ කුටිය (බහලුම) මෙටි්‍රක්ටොන් 5 ක් පමණ බරකින් යුක්තවේ.

‘මුතුරාජා’ගේ ශ්‍රී ලංකාවේ සිට තායිලන්තය දක්වා ගුවන් ගමනට සහ ඊට අදාල කටයුතුවලට පැය 6 කට අධික කාලයක් ගතවනු ඇති බවට ද ඇස්තමේන්තු කර තිබේ.

මෙවැනි විශාල බහලුමක් සාමාන්‍ය ගුවන් යානයක ප්‍රවාහනය කළ නොහැකි නිසා රුසියානු අයි.එල්. 76 දරණ විශේෂ ගුවන් යානයක් මේ සඳහා වෙන්කර ඇති අතර ජාත්‍යන්තර රෙගුලාසි අනුව එම ගුවන් ගමන ක්‍රියාත්මක වන බව ද සඳහන්.

ඒ අනුව මෙය ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ ගුවනින් ප්‍රවාහනය කරන බරින් වැඩිම සහ වයසින් වැඩිම හස්තියා ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවට බලධාරීහූ පවසති.

පාකිස්තානයේ සිට කාම්බෝජයට ගුවනින් ප්‍රවාහනය කළ ‘කාවන්’ නැමැති ඇතා රටකින් රටකට ගුවනින් ප්‍රවාහනය කළ විශාලතම හස්තියා ලෙස වාර්තා වන බව ද බලධාරීහූ කියති.

තායිලන්තයෙන් මීට වසර 21 කට පෙර ප්‍රදානය කළ ‘මුතුරාජා’ හස්ථියා අසනීප තත්වයකට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව නැවත එරටට භාරදීට තීරණය කළේය.

‘මුතුරාජා’ හස්ථියා පසුගිය වසරේ නොවැම්බර් මස 9 වැනිදා දෙහිවල සත්ව උද්‍යායට යොමු කිරීමෙන් පසුව මාස 7 කට අධික කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියි.

දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරීනි මදුශා පෙරේරා මහත්මියගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ එම සත්ව උද්‍යානයට යොමු කරන විට ‘මුතුරාජා’ ශරීරයේ තිබූ විශාල ගෙඩි දෙකක් හේතුවෙන් දැඩි වේදනාවෙන් පසුවූ බවත් මේ වන විට ‘මුතුරාජා’ සියයට 90 ක් පමණ සුවය ලබා ඇති බවත්ය.  

‘මුතුරාජා’ සත්ව උද්‍යානයට ඇතුළත් කර ටික දිනකින් සත්වයාට ප්‍රතිකාර කිරීම අපහසුතාවයකට පත්වුවද මෙය විශේෂ තත්වයක් හේතුවෙන් ජීවිත අවදානම ද නොතකා තමන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම මාස පහක් පමණ අසීරුවෙන් ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මක කළ බව කී වෛද්‍ය මදුශා පෙරේරා මහත්මිය තව දුරටත් සත්වයා මෙරටට සිටියේ නම් සම්පූර්ණයෙන් සුව කිරීමේ හැකියා ද ඇති බව සඳහන් කළේය.

හස්ථියාගේ ඉදිරි පස වම් ගාතයක් නැවීමේ නොහැකියාවක් ඇති බවත් සතාගේ වසරකට පමණ වූ තුවාලයකට මූලික ප්‍රතිකාර දීමට කටයුතු කළ බවත් ඇය පැවසුවාය.

තායිලනත්ත තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් හස්තියාට සියයට 100 ක් සුවපහසු ගමනක් ලැබෙන ආකාරයට වරින් වරන් වෙනස්කම් කරමින් මෙම කුටිය නිර්මාණ කර ඇති බවත් ගුවන් කාලය පුරාම කෑම සහ වතුර සැපයීමට විශේෂ කවුළු එම කුටියේ ඇති බවත් වෛද්‍යවරිය කීවාය.  

හස්ථියා ශ්‍රී ලංකාවේ වසර 21 ක් ගතකිරීමෙන් මෙරට සංස්කෘතියට සහ පරිසරයට අනුගත වී සිටීම නිසා තායිලන්ත භාෂාවට හුරු කිරීමට තායිලන්ත සහ ශ්‍රී ලංකා ඇත් ගෙව්වන් කටයුතු කළ බවත් කුටියට හුරුකිරීමට ද විශේෂ ක්‍රියාවලියක් අනුගමනය කළ බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ (සත්ව සෞඛ්‍ය හා පෝෂණ) පශූ වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වය සහ උපදේශණය යටතේ දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ පශූ වෛද්‍ය නිලධාරීනි මදුශා පෙරේරා මහත්මිය ඇතුළු කණ්ඩායම ‘මුතුරාජා’ හස්ථියාගේ ප්‍රතිකාර ක්‍රියාත්මක කළේය.


RECOMMEND POSTS