ගෘහ සේවිකාව ගෙන්වා ගැනේ



වසර හතරක් තිස්සේ වැටුප් ලබා නොදී වහල් සේවයේ යොදවා ගත් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට හිඟ වැටුප් ලබාදී මෙරටට ගෙන්වා ගැනිීමට ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය හා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත් වී තිබේ.

2011-සැප්තැම්බර් මාසයේ කුවේට් රාජ්‍යයට ගෘහසේවිකාවක් ලෙස සේවය සඳහා ගිය මාතලේ, නුවර  පාරේ අංක 199/2 නිවසේ පදිංචි ගෝවින්දසාමි පරමේශ්වරී මෙනවිය මෙසේ හිඟ වැටුප් ලබා දී ගෙන්වා ගෙන ඇත.

එරට සේවය කළ ස්ථානයේදී මුල් මාස 11 පමණක් ඇයට වැටුප් ලැබී තිබෙන අතර, ඉතිරි මාස 62 කාලයක් ඇය වැටුප් රහිතව සේවය කර තිබේ.

වැටුප් ලබා නොදී සේවය ගන්නා නිසා ඇය සේවය කළ නිවසින් බැහැරවී කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ ඇති අතර තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිළධාරීන් විසින් මේ සම්බන්ධව විදේශ රැකියා අමාත්‍යතුමියට දැනුම් දීමෙන් අනතුරුව අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කුවේට් අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව වෙත මේ පිලිබදව කරුණු දන්වා තිබේ.

එහිදී ගෝවින්දසාමි පරමේශ්වරී මෙනවිය සේවය කළ නිවසේ හිමිකරුගෙන් ඇයට හිමි හිඟ වැටුප් ලෙස කුවේට් ඩිනාර් 3310 ක් (රුපියල්. 1,625,000 ආසන්න මුදලක්)  ලබා ගැනීමට හැකිවුනි.

එම මුදල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ඉකුත් දා(-24) ඇය දිවයිනට පැමිණීමෙන් පසු විදේශ රැකියා අමාත්‍යතුමිය අතින් ලබා දෙන ලදි. මෙම අවස්ථාවේදී අමාත්‍යතුමිය විසින් ඇයගේ සුවදුක් විමසූ අතර මෙම මුදල් ඇයගේ ඉදිරි වැඩකටයුතු සඳහා යොදා ගන්නා ලෙසට උපදෙස් ලබා දෙන ලදි.
මෙහිදී අදහස් ප්‍රකාශ කළ ගෝවින්දසාමි පරමේශ්වරී මෙනවිය සඳහන් කලේ, කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන් තමන්ගේ ප්‍රශ්නය පිළිබඳ කඩිණමින් විසඳුම් ලබා දුන් බවත්, සියලු නිළධාරීන්ට ස්තූතිවන්ත වන බවත් සඳහන් කළ අතර, විදේශ රැකියා අමාත්‍යතුමියගේ මැදිහත් වීම මත තමන්ට හිඟ වැටුප් ලබා ගැනීමට හැකි වූ බවත්, මෙම මුදල් ඇයගේ ඉදිරි අනාගතය සඳහා යොදා ගන්නා බවත්, නැවත් වරක් රැකියාවක් සඳහා විදේශ ගත වීමට අපේක්ෂා නොකරන බවත් වැඩිදුරටත් සඳහන් කළාය.

එසේම කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධී අයුරින් එරට රැඳී සිටි ලාංකිකයින් 120 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි ඊයේ දින (2017-05-24) උදෑසන 8.40ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ෑණ 650 හා දහවල් 12.45 ට ෑණ 348 දරණ යානයෙන් දිවයිනට පැමිණියහ.

මෙම පිරිස සේවා ගිවිසුම් කාලය ඉක්මවා නීති විරෝධී අයුරින් රැඳී සිටීමින් විවිධ රැකියාවල නරත වුවන් වන අතර එරට කම්කරු නීතිය උල්ලංඝණය කරමින් වීසා හා ගුවන් ගමන් බලපත්‍රය නොමැතිව රැඳී සිටි ශ්‍රමිකයින් වන අතර, විදේශ රැකියා අමාත්‍යතුමියගේ උපදෙස් මත කුවේට් කානාපති කාර්යාලයේ මැදිහත් වීම මත මෙම ශ්‍රමිකයින්ට නීත්‍යානුකූල ලිපි ලේඛන සකස් කර මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලදී.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS