ඊශ්‍රායලයේ රැකියාවට ඕනෑ ශක්තිමත් තරුණ පරපුරක්



ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි - තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා වැඩ කළ හැකි ශක්තිමත් තරුණයින් මිස පටු දේශපාලනය වෙනුවෙන් උද්ඝෝෂණය කරන අය නෙමෙයි - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර.

ඊශ්‍රායලයේ රැකියා සදහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ කළ හැකි, ලංකාවේ නම රදවන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් මිස එක එක කාලකන්නි පටු දේශපාලඥයින්ගේ උවමනාව අනුව උද්ඝෝෂණ කරන අය නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

ඊශ්‍රායලයේ කෘෂි රැකියා සදහා ගොස් නැවත පැමිණෙන ශ්‍රමිකයින් කෘෂි ව්‍යවසායකයින් බවට පත් කිරීම සදහා කටයුතු කරන බවද, ඊශ්‍රායලයේ කෘෂි සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා සුදුසුකම් ලැබූ ශ්‍රමිකයින් සදහා උමන්දාව විශ්ව බෞද්ධ ගම්මානයේදී ලබාදෙන පුහුණු වැඩසටහනේ දෙවැනි අදියරේ සමාරම්භක උත්සවයට සහභාගීවෙමින් අමාත්‍යවරයා අද (24) පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.
 
"වැස්ස එනකොටම සාමාන්‍යයෙන් අපිට ගීත මතක් වෙනවා. මගේ ඔළුවට ආවේ 'අව්වට වැස්සට හුරු මිනිසුන්නේ - ඔබගේ විරියෙනි රටවල් නැගුණේ' කියන එක. ඒ සින්දුව එනකොටම ආපහු මතක් වෙන කොටසක් වන්නේ 'ඔබලගෙ මළගම වෙනුවෙන් මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ' කියලා. අර හොඳ අදහස දීලා ඒකත් එක්කම අවසානේ වෛරය හදලා තියෙනවා එතනත්. සින්දුව හොඳට ලියවිලා තියෙනවා - අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, නුඹලගෙ විරියෙනි දාගැබ් හැදුනේ, වැව් හැදුනේ - කියන එක. 'උඹලගේ හයියෙනි තව රටවල් ඉස්සරහට යන්න ඕනි කියන එක නැතුව වෛරයක් හදලා, වැඩ කරන එකට හයියක් නෙවෙයි දුන්නේ. වැඩ කරන එක ආපස්සට හැරෙව්වා. අපේ රට ආපස්සට යන්න හේතු මේවත් වෙන්න ඇති කියලා මට හිතුනා. ඒ කියන්නේ අපි රටක් විදිහට වැඩ කරන මිනිස්සු, වැඩ කරන මිනිස්සුන්ගේ ජවය, තවත් ඉස්සරහට අරගෙන රට දියුණු කරන්න පාවිච්චි නොකර හැම වෙලාවේම පාවිච්චි කළේ වෛරය, ක්‍රෝධය. 
 
සමහරු දැන් ඊශ්‍රායලටත් ගිහින් උද්ඝෝෂණ කරලා මේ අපට තියෙන අවස්ථා නැති කරන්න උත්සාහ ගන්නවා. හාමුදුරුවෝ මතක් කරනකොටම කිව්වා, මේ රටේ කොළඹ වරාය හදනකොටම වරාය හදන්න නොදී සහෝදරවරු උද්ඝෝෂණ කරන්න පටන්ගත්තා. ඒ උද්ඝෝෂණවල ප්‍රතිඵල හැටියටයි සිංගප්පූරුවේ වරාය ගොඩනැගුණේ. සිංගප්පූරුවේ වරාය හදලා ලී ක්වාන්යූ මහතා ලංකාව දෙස බලලා කියනවා 'ලංකාවේ වමේ ව්‍යාපාරයට අපි ස්තුතිවන්ත වෙනවා, අපිට වරායක් හදන්න පුළුවන් වුණේ ලංකාව නිසා' කියලා. ලංකාවේ මිනිස්සු වරාය හදන්න දුන්නා නම් මේ මුහුදු ගමන් මාර්ගයේ ඉතා වැදගත්ම ස්ථානය තමයි ලංකාව. පෙරදිගින් අපරදිගින් දෙන්ම එන නැව් හුවමාරු වෙන්න තියෙන මධ්‍යස්ථානය ලංකාව. සිංගප්පූරුව තියෙන්නේ වෙන පැත්තක. එහෙම තියෙන තැනක රටේ වරාය ගොඩ නගන්න, දුන්නේ නෑ. ඒකයි ලී ක්වාන් යූ එදා අපිට ස්තුතිවන්ත වුණේ. අපි රටක් හැටියට 75 අවුරුද්දකට බැන බැන ඉන්නවනේ. හැබැයි අපි මතක් කරලා බැලුවොත් 1965 විතර ඉඳලම අපි නිදහස අරගෙන, පොඩි දවසකට පස්සේ ඔය නෑ බෑ කියන, වැඩ කරන්න දෙන්නේ නැති, එපා එපා කියලා කියන, උද්ඝෝෂණ කරන අය වැඩ පටන්ගත්තා. එදා ඉඳලා තමයි අපේ ගොවිජන ව්‍යාපාර පටන්ගන්න කොට, ඒ ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ වෙලා, මිණිපේ පැති ගොඩනගනකොට විරුද්ධ වෙලා කෑගහන්න පටන්ගත්තේ. ඕවයේ ගොවි ජනපද ව්‍යාපාර පටන්ගන්න එපා, පොල් ගෙඩි වගේ මදුරුවො ඉන්නව, මැලේරියා හැදිලා අපේ මිනිස්සු මැරෙයි කියමින් අපිට කෘෂිකර්මාන්තය හදනකොටම එදා විරුද්ධ වුණා. දිගින් දිගටම හැම කර්මාන්තයක්ම මේ රටට එන්න හදනකොටම විරුද්ධ වුණා. ලංකාවට ව්‍යාපාර, ආයෝජන එන්න හදනකොටම විරුද්ධ වුණා. එහෙම කරලා තමයි මේ රට දියුණු නොවෙන්න හේතු වුණේ. හැම තිස්සෙම වැරදි මත හැදුවා. 
 
අපේ අධ්‍යාපන ක්‍රමයේ යම් වැරැද්දක් තියෙනවා කියලා අපි හොඳින්ම දන්නවා. නමුත්, ධවල පත්‍රිකාව ඇවිත් ඒ ක්‍රමය වෙනස් කරන්න හදනකොටම ඒකට විරුද්ධව පාරට බැස්සා. ඊට අවුරුදු 44කට පස්සේ අපි කියනවා, මේක වෙනස් කරන්න ඕන කියලා. අවුරුදු 44කට කලින් අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපනය වෙනස් කරන්න හැදුවේ. අවුරුදු 44කට ඉස්සෙල්ලා අධ්‍යාපනය වෙනස් කළා නම් රටට ගැලපෙන අධ්‍යාපනයක් අපේ රටේ තියෙනවා. එහෙම වුණා නම් ඕගොල්ලෝ පිටරටවල ගිහිල්ලා කෘෂිකර්මාන්තය කරන්න ඕනද? ගොවි ජනපද, මහවැලිය පටගන්ගන්නකොට කෑගහලා, කරගෙන ආව වැඩ ටික කරගෙන යන්න දුන්නා නම් අද කෘෂිකර්මාන්තයෙන් රට ඉස්සරහට යන්න තිබිච්ච අවකාශය නෙමෙයිද නැති වුණේ. 
 
මෑත කාලීනම උදාහරණය උමා ඔය. උමා ඔයේ හිලක් කියලා කෑගහන්නේ නැතුව ඒ ව්‍යාපෘතිය මීට අවුරුදු 08කට ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයලා පටගත්ත වෙලාවේ කරන්න දුන්නා නම් මෙගා වොට් 120ක් ලයිට් ලබෙනවා. විදුලිය කපන්න වෙන්නෙත් නෑ. ඒකෙන් ආව ජලකඳ ආව නම් වැල්ලවායට, හම්බන්තොටට ඇවිල්ලා අවුරුදු 08ක ඉඳලා ගොවිබිම් බවට පත් වෙලා. එහෙම නම් ඒවා අවුරුදු අටක ඉඳලා වවලා. කෘෂිකර්මාන්තයෙන් අපි ඉස්සරහට ඇවිල්ලා. ඉන්දියාවෙන් ඇවිත් උදව් කරනකොට විරෝධතා. ඉන්දියාව සමග සබඳතාවය බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉඳන්, ඊට කලින් ඉඳලම පැවත එන සබඳතාවයක්. ඒ සබඳතාවයට විරුද්ධව ඉන්දියානු විරෝධයක් ගොඩනගලා, බොම්බයි ළුෑණු වගේම ඉන්දියාවෙන් එන කිසිම දෙයක් එපා කියලා, 88 - 89 තරුණ තරුණියෝ 60,000ක් මරලා දාලා, දැන් ආයෙත් ඉන්දියාවත් එක්ක ගිහිල්ලා සම්බන්ධ වෙනවා. හැබැයි එතෙක් කල් ඉන්දියාවෙන් ලංකාවට එන්න තියෙන ආයෝජන ලංකාවට ආවා නම්, ලංකාවේ ආයෝජන ටික ඉන්දියාවට ගේන්න අපේ වෙළඳපොළ ඉන්දියාවට ගේන පසුබිම විවෘත කරගන්න පුළුවන් වුණා නම් ඉන්දියාවත් එක්ක ගහන ගිවිසුම්, ඉන්දියාවත් එක්ක විවෘත ගිවිසුම් අපිට හදාගන්න පුළුවන් වුණා නම් වටිනවා. අපි පුංචි රටක්. අපේ රටේ ලොකු දේවල් හදන්න බෑ, මොකද අපේ වෙළඳපොළ කුඩයි. හැබැයි ඉන්දියාව වගේ වෙළඳපොළකට අපි විවෘත කරගත්තොත් ඒක වැදගත්. හැබැයි හැම පාරකම ඒකට විරුද්ධ වුණා. එහෙම උද්ඝෝෂණ කරලා කරලා, විද්ධ වෙලා තමයි මේ කඩාගෙන වැටුණ තත්ත්වයට පත් කළේ. ඒකට වෙන වෙන අයට බණිනවා. කාටද ඒකට හරි නම් බලන්න ඕන? මෙච්චරකල් මේ රටේ බණින්න නොදී උද්ඝෝෂණ කරපු මේ කාලකන්ණින්ට නෙවෙයිද? මේ රට කාලකන්ණි කළේ මේ උද්ඝෝෂකයෝ නෙවෙයිද? අද අපේ රටේ තරුණයන්ට පිටරටවල ගිහින් වැඩ කරන්න තත්ත්වයට පත් කළේ මේ රට ගොඩ නැගෙන්න නොදුන්න කාලකන්ණි නෙවෙයිද? ඒක තමයි අපි පිළිගන්න ඕන ඇත්ත. 
 
 
හාමුදුරුවෝ කිව්වා වැසි සීයක් ආවත් අපි වැඩ කරනවා කියලා. වැස්ස එන්නේ අපිව තෙමෙන්න. අව්ව එන්නේ අපිව වේලෙන්න කියන එකේ ලොකු දෙයක් තිබුණා. ඒක හරි හිතට දැනෙන දෙයක්. ලැබෙන දේ බාරගන්න. එන දේත් එක්ක පොසිටිව් විදිහට හිතන්න තමයි තිබුණේ. අපිට ජීවිතේ එන ඕන අභියෝගයක් භාරගන්න පුළුවන් මිනිස්සු විදිහට අපි පත් වුණොත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ඉතිහාසයේ අපේ හිටියේ එහෙම අභියෝග භාරගන්න පුළුවන් මිනිස්සු. එහෙම ඉතිහාසයක් තිබුණු රටක් අපි. අපි කාලෙකට පස්සේ එක එක කාලකන්ණින්ගේ උවමනාවට අපි අභියෝග භාරගන්න එක අතෑරලා උද්ගෝෂණය කරන්න බෝඩ් එක අතට ගන්න තැනට කටයුතු කළා. අපි ජාතියක් රටක් විදිහට අභියෝග භාර ගත්ත මිනිස්සු. වාරි සංස්කෘතිය, කෘෂි කර්මාන්තය, දගැබ් හදපු ඉතිහාසය මේ සියල්ල පැත්තකට දාලා බෝඩ් ලෑල්ල අතට ගන්න තැනට අපි පුරුදු කළා. දියව් දියව් කියලා අනිත් එකාගේ දේ කඩවඩාගන්න තැනට පුරුදු වුණා. තව කණ්ඩායමක් බෙදන්න පුරුදු කළා. අපිව පුලන්නෝ බවට පත් කළා. අපිව අරක මේක දීලා හිඟා කන තැනට ඉල්ලන් කන තත්ත්වයට පත් කළා. ඒක පාන් ගෙඩිය 3.50 දක්වා හාල් සේරුව-දෙක, එක එක විදිහට එක එක දේශපාලන නායකයෝ මේ රටේ එක එක විදිහට ඒ පුලන්නෝ තත්ත්වෙට පත් කළා. අදටත් අපේ රටේ මිනිස්සු සහනාධාර ලබන තැනට තවම පුරුදු කරගෙන ඉන්නේ ඒ ආව තැන. එතකොට අපි අභියෝග භාරගන්නේ නැතිව බෝඩ් ලෑල්ල අතට ගන්නයි, දියව් දියව් කියලා කෑගහන්නයි, හරි හම්බු වෙනකල් ජීවත් වෙන්න පුරුදු වෙච්ච එකයි තමයි අපිව ජාතියක් හැටියට අපිව ආපස්සට ඇද දාපු ප්‍රධාන කාරණය. 
 
අව්වටත් වැස්සටත්, එන ඕන දේකටත් මුහුණ දීලා ජයග්‍රහණය කරන්නත් මේ තරුණයෝ ශක්තිමත් කරන්න ඕන නිසා තමයි මේ තරුණයො අපි උමන්දාවට යොමු කළේ. අපිට ඕන කළේ ඕන දේකට මුහුණ දෙන්න පුළුවන් ජවයක් පුරුදු පුහුණු කරන්න ඕන නිසා තමයි මේ තරුණයෝ ටික අපි උමන්දාවට යොමු කළේ. ඒකට මුහුණු දෙන්න පුළුවන් හොඳ තරුණ ජවයක් අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒක අතින් පයින් විතරක් නෙවෙයි පුරුදු පුහුණු කරන්න ඕනේ. කැත්ත උදැල්ලෙන් විතරක් නෙවෙයි. ඔබව ශක්තිමත් කරන්න ඕනේ මනසින්. කැත්ත - උදැල්ල ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් වෙයි. හැබැයි මනස ශක්තිමත් නූනොත් අපිට බෑ කිසිම දෙයක් කරන්න. මනස ශක්තිමත් වුණොත් කැත්ත - උදැල්ල විතරක් නෙවෙයි ඊට වඩා ඕනෑම දෙයක් හරියට වැඩ  කරන්න පුළුවන්. ඉතිහාසයේ අපිව වෛරයට ක්‍රෝධයට මෙහෙයවලා ආයුධ අතට ගන්න පුළුවන් වෙන විදිහට අපිව මෙහෙයවූයේ. ඒක උතුරෙත් කළා. දකුණෙත් කළා. ඒ තරුණයින්ගේ ජවය, ශක්තිය තරුණයින්ගේ දැනුම පාවිච්චි කළේ වැරදි තැන්වලට. අපිට ඕනි අපේ තරුණයන්ගේ ජවය, ශක්තිය දැනුම රත්වෙන ලේ පාවිච්චි කරන්න මේ රටේ ආර්ථිකය හදන්න. ඔබගේ ජීවිතය ගොඩනගන්න. ඒකට මානසික වශයෙන් ශක්තියක් ඕගොල්ලන්ට ඕන. අපේ අධ්‍යාපන ක්‍රමයෙන් ඒ මානසික හයිය ලබා දෙන්නේ නෑ. ඒක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. බණපොත් කට පාඩම් කරන්න, විභාග ලියන්න අපිව පුරුදු කළා මිසක් අපිව ශක්තිමත් කරන්න පුරුදු කළේ නෑ. 
 
අද අපි සතියක් හරි උමන්දාවේ ඔබව නතර කරගෙන උත්සාහ කරන්නේ, අන්න ඒ මානසික ශක්තිය ඔබට ඇති කරන්න. ඒක ඇති කරලා තමයි ඔබව ඊශ්‍රායලය කරා යවන්න සූදානම් කළේ. පැදුරෙද, මෙට්ටෙද, කන්ටේනර් පෙට්ටියෙද ඕන තැනක ඉඳලා වැඩ ටික කරන්න. වැඩ දෙන්නේ දොඩම් කූඩ දෙකක් කඩන්න නම් දොඩම් කූඩ පහක් කඩලා, ශක්තිමත් වෙලා ඒකෙන් වැඩි ගාණකුත් හොයාගෙන ලංකාවේ නමටත් හයියක් කරගෙන එතන යක්කු ටිකක් වගේ වැඩ කරලා, ඕගොල්ලො ශක්තිමත් පුද්ගලයෝ පිරිසක් බවට පත් කරලා එතනට යවන්නයි අපිට ඕනේ. එහෙම නැතුව පොඩ්ඩක් වෙච්ච ගමන් කඩාගෙන බිඳගෙන එන්න උද්ඝෝෂණ කරන කණ්ඩායමක් නෙවෙයි අපිට ඕනේ. 
 
පහුගිය දවස්වල ඊශ්‍රායලයත් සමග තියෙන සබඳකම් නතර කරන්න කියලා විපක්ෂ නායක් සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කිව්වා. ඒවා ලංකාවේ පාර්ලිමේන්තුවට විතරක් ඇහෙන ඒවා නෙවෙයි. ඒවා ඊශ්‍රායලට යනවා. එතනත් බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. රවුෆ් හකීම් ඇමතිවරයා කියනවා තරුණයො ඊශ්‍රායෙල් යැවීම වහාම නතර කරන්න කියලා. පාර්ලිමේන්තුව ඇතුළේ කෑගැහුවා ඔහු. ඒවා අපිට විතරක්ද පේන්නේ? ඒවා ඊශ්‍රායලයට පේන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ බුද්ධි අංශවලට මේවා යන්නේ නැද්ද? ඊශ්‍රායලයේ ජනතාව වතු හිමියෝ මේවා දකින්නේ නැද්ද. අද මේ නිසා අපේ බඳවාගැනීම් ටික ටික අඩු වෙලා තියෙනවා. මේවට උත්තර හොයන්න ඕනි කරන වැඩ ටික කරගෙන යනවා. මේ අභියෝග භාරගන්න පුරුදු වෙන්න. අපි අභියෝග භාර ගැනීම ක්‍රියාවෙන් පෙන්නලා මෙතන කතා කරන්නේ. අපි ආඩම්බරයෙන් කියන්නේ ගාල්ලෙන් ඇවිල්ලා, කොළඹ ජයග්‍රහණය කරලා. මුළු රටටම ව්‍යවසායකයෝ හදන්න ඕනේ. පදනම අරගෙන අලුත් කන්සෙප්ට් එකක් අරගෙන සමන්තභද්‍ර හාමුදුරුවෝ වෙනම වැඩපිළිවෙළක් හදා තියෙනවා රට ගෙනියන්න. 
 
 
අපි රටේ මිනිස්සු අමාත්‍යාංශයක් භාරගන්න බෑ කියනකොට, ආණ්ඩු භාරගන්න බෑ කියනකොට, පළා යනකොට ජනාධිපතිතුමත් එක්ක අභියෝග භාර අරගෙන රටේ තත්ත්වය අවුරුදු දෙකකින් වෙනස් කරලා රට නැවත ශක්තිමත් තැනකට කරලා අපි අභියෝග ජයග්‍රහණය කරපු මිනිස්සු විදිහට අපි කතා කරන්නේ. ඕගොල්ලෝ ඔයාලගේ ජීවිතේ අභියෝග භාරගන්න. අභියෝගය භාරගෙන ඕන දේකට මුහුණ දෙන්න පුළුවන් පසුබිම තමන්ගේ හිත ඇතුළේ හදාගන්න. ඒක හදාගත්තම, ඕගොල්ලන්ට ශක්තිමත් මිනිසුන් පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා රට වටේම ඉන්න රට ගිහින් හැදුණු ව්‍යවසායකයන්ට ඉඩම් ලබා දෙන්න. ඔබලත් කෘෂි ව්‍යවසායකයෝ වෙන්නයි ඕන. රට වටේම දැනටමත් එහෙම ව්‍යවසායකයෝ ඉන්නවා. පිටරටවල ගිහිල්ලා සල්ලි ටිකක් හම්බ කරගෙන ලංකාවට ඇවිල්ලා ඒ සල්ලිවලින් ව්‍යවසායකයෝ වෙච්ච අය. මොනාහරි නිශ්පාදනයක් කරන අය ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා ස්වාමීන්වහන්සේත් එක්ක එකතු වෙලා ඒ අයගේ ව්‍යවසායකත්වයට උදව් කරන්න. 
 
පුහුණු කරලා විතරක් නතර වෙන්නේ නෑ. අපේ සැලසුම තියෙන්නේ මේ රට ආර්ථිකව ශක්තිමත් කරන්න. රනිල් වික්‍රමසිංහ මතිතුමා වැඩපිළිවෙළක් ගෙනියනවා. රටේ වෙන වැඩපිළිවෙළක් යනවා. අපි අමාත්‍යාංශයක් විදිහට විදේශගත වෙන ශ්‍රමිකයෝ සියලු දෙනා ව්‍යවසායකයෝ බවට පත් කරන්න උමන්දාවෙත් හයිය අරගෙන උමන්දාවෙත් දැනුම අරගෙන, ශක්තිය පාවිච්චි කරලා ඔබ සියලු දෙනා ව්‍යවසායකයෝ බවට පත් කරන්න කටයුතු කරනවා. 
 
රටේ දැනට ව්‍යවසායකයෝ කියලා ඊපීඑෆ් ඊටීඑෆ් ගෙවන මට්ටමට නිශ්චිත ව්‍යාපාරිකයෝ ඉන්නේ 80,000යි. ලැජ්ජයි අපි රටක් හැටියට. ඒක අපි පුළුවන් තරම් ඉක්මනින් තුන් ගුණයක් බවට පත් කරනන්න තමයි රට දියුණු කරන්න පුළුවන්. එදා කොරියාව විදේශගත ශ්‍රමිකයෝ විසින් දියුණු කරපු විදිහටම, කොරියාව හදනවා වගේම ලංකාවත් හදන වැඩපිළිවෙළ තමයි අපි අද උමන්දාවත් එක්ක එකතු වෙලා අත්වැල් බැඳගෙන කරන්නේ. ඒ සමාරම්භක වැඩපිළිවෙළටයි අපි - ඕගොල්ලො ඇවිත් ඉන්නේ. ඔබ පුහුණුව කරලා ඉක්මනින් ඊශ්‍රායලයට යන්න හැකියාව ලබෙන්න ප්‍රාර්ථනා කරනවා. රස්සාවලට යවන්න එපා කියන දේශපාලනඥයින්ගේ මතවාද දුර්වල කරලා එහෙ ගිහින් උද්ඝෝෂණ කරන්න පුරුදු කරන අයගේ තත්ත්වයන්ට මුහුණ දීලා ගිහින් ආව කණ්ඩායමක් ඉන්නවා තව යවන්න. වයස වැඩි අයවත් යවන්න උත්සාහ කරනව. අපි අපේ ශක්තිය හරියට පෙන්නුවොත් අපිට ඊශ්‍රායලය පැත්තෙන් අපේ වැඩපිළිවෙළ යන බව තේරුම් ගත්තොත් ඒක තෙරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් විශාල පිරිසක් යවන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. " යැයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
 
මෙම අවස්ථාවේදී සමන්තබද්‍ර ස්වාමීන්වහන්සේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා අදහස් දැක්වූහ.

RECOMMEND POSTS