ආදර්ශයක් වෙන්න ලංකාවට පුළුවන්
පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ ඔටෝවා සම්මුතියට එක්වීමෙන් හා සම්මුතියට අනුව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට කලාපයේ සහ ලෝකයේ අන් රටවලට උත්ප්‍රේරකයක් සහ ආදර්ශයක් වීමට හැකියාව ඇතැයි පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේය.
සම්මුතියට එක්වීමෙන් පමණක් නොව සම්මුතිය ක්‍රියාවට නැංවීම තුළින් කලාපයේ නායකත්වය ගෙන කටයුතු කරමින් විශාල වෙනසක් කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව ඇතැයි ද මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු පැවසීය.
කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී “පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ ඔටෝවා සම්මුතිය සහ ආසියාව සතුව ඇති අවස්ථා සහ අභියෝග” යන මැයෙන් දේශනයක් කරමින් මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු එම කරුණු කීවේය.
එහිදි මිරෙද් රාද් සෙයිද් අල් හුසේන් කුමරු මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාව ඔටෝවා සම්මුතයට ඇතුළත් වූ 163 වැනි රටයි. ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය ආදී රටවල් කිහිපයක් සම්මුතයට එක්වී සිටිනවා. එහෙත් ඉන්දියාව, පාකිස්තානය හා චීනය වැනි ආසියානු රටවල් මෙන්ම ලොව රටවල් 33ක් සම්මුතියට එක්වී නැහැ. එහෙත් ඒ රටවල් මෙම සම්මුතියට එක් කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. යුද්ධයේ බිහිසුණු බව ගැන බිම්බෝම්බ නිසා වූ හානිය ගැන ශ්‍රී ලංකාවට අත්දැකීම තිබෙනවා. ඔටෝවා සම්මුතිය ක්‍රියාවට නංවමින් ලොව අන් රටවලට සම්මුතියට එක්වීමට උත්ප්‍රේරකයක් සහ ආදර්ශයක් වීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. සම්මුතියට අනෙකුත් රටවල් එකතු කරගැනීමේ සහ ජාත්‍යන්තර සහයෝගීතව වර්ධනය කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙනවා.
ඔටෝවා සම්මුතිය සිවිල් සමාජයේ බලය පෙන්නුම් කරන්නක්. මෙතරම් කාලයක් සම්මුතිය ක්‍රියාවට නංවමින් අපි ලබාගත් ජයග්‍රහණ රැසක් තිබෙනවා. සිවිල් සමාජයට වෙනස්කම් කිරීමේ හැකියාව පෙන්වන කදිම උදාහරණයක් ලෙස ඔටෝවා සම්මුතිය පෙන්වා දෙන්න පුළුවන්.
මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ දී ලෝකය තුළ කලාපය තුළ නායකත්වය ගෙන කටයුතු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව සතුව තිබෙනවා. ශ්‍රී ලංකාවට නායකත්ව භූමිකාව ගෙන කටයුතු කරමින් වෙනසක් කිරීමට විශාල අවස්ථාවක් තිබෙනවා.
මෙම සම්මුතිය ජාතික ආරක්ෂාවට එරෙහිව යන්නක් නෙමෙයි. සම්මුතිය ක්‍රියාවට නැංවීමෙන් ආරක්ෂා වෙනුයේ ජනතාවයි. යම් රටක් මේ සම්මුතිය ක්‍රියාත්මක කරන්නේ ද ඒ රජය ඒ රට ජනතාව ආරක්ෂා කරන බව එයින් ඇඟවෙනවා. මෙම සම්මුතිය සහ ජාතික ආරක්ෂාව එකිනෙකට සමාන්තරව ගමන් කරනවා.
මේ සම්මුතිය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ සමඟ සම සමව ගමන් කරනවා. සෞඛ්‍ය, අධ්‍යාපනය, සමාජ ආර්ථික සාධක, රැකියාව, ආදී බොහෝ කරුණු මේ සම්මුතිය තුළින් ආරක්ෂා වෙනවා. උදාහරණයක් ලෙස ජෝර්දානයේ 20 වැනි නීතිය ගන්නට පුළුවන්. ඔබට ඒ ගැන කරුණු සොයා බලන්න පුළුවන්.
මේ සම්මුතිය ක්‍රියාත්මක කරන අතරවාරයේදී අපි ආබාධිත පුද්ගලයන් විවිධාකාර හැකියාවන් සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරනවා. බිම්බෝම්බ නිසා පුද්ගලයන් රැසක් විවිධාකාරයේ ආබාධවලට ගොදුරු වී තිබෙනවා. ඔවුන්ට ආයතනිකව අවස්ථාව හිමිවිය යුතුයි. ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතුයි. ඒ නිසාම අපි ඔවුන් වෙනුවෙන් ද කටයුතු කරනවා. ඔවුන්ගේ අවස්ථා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. මෙම සම්මුතිය තුළින් අපි පීඩිතයන් වින්දිතයන් වෙනුවෙන් ද අවධානය යොමු කර තිබෙනවා. එය මෙම සම්මුතිය විශේෂ අංගයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
ශ්‍රී ලංකාව මේ සම්මුතියට ඇතුළත් වීම තුළින් සෞඛ්‍ය, සුබසාධනය, ස්ත්‍රී පුරුෂ බව සහ මා කලින් කී පරිදි එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අභිමතාර්ථ අතර උසස් සබඳතාවක් ගොඩනගා ගැනීමට අවස්ථාව හිමිවෙනවා” යැයි හෙතෙම වැඩිදුරටත් කීවේය.
හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි