සාහිත්‍යය හා බැදි භාරතීය සිනමාව



සාහිත්‍යය හා බැදි භාරතීය සිනමාව පිළිබඳ විවරණයක්...

සාහිත්‍යය යනු කලාත්මක නිර්මාණයකි. වින්දනයක්, තෘප්තියක්, රසයක් මතු කිරීමට හැකි පරිදි සකස් කරනු ලබන කලාත්මක නිමවුමක් ලෙස සාහිත්‍යය හඳුන්වනු ලැබේ. ලෝකයේ අති විශිෂ්ට සාහිත්‍යය කෘති බොහෝ ගණනාවක් බිහි වී තිබේ. විද්වතුන් පෙන්වා දෙන්නේ සාහිත්‍යය යනු ආධ්‍යාත්මය ආමන්ත්‍රණය කරන හා ජීවිතාවබෝධය ලබාදෙන ප්‍රකාශනයක් බවය. සාහිත්‍යය ඇසුරු කිරීමෙන් හා විවිධ පොතපත කියවීම තුළින් මිනිසුන්ගේ ජීවිත කියවිය හැකිය. සමාජ විපරිණාම සිදු කළ හැකිය. මානව සම්බන්ධතා ගොඩනැගිය හැකිය. මෙවැනි අරමුණු සාක්ෂාත් කරගෙන කතුරවයන් අතින් සමාජගත කෙරුණු අති විශිෂ්ට සාහිත්‍ය නිර්මාණ රූප මාධ්‍යයට ගෙන ඒමට සමහර සිනමා නිර්මාණකරුවන් සමත් වී තිබේ. සාහිත්‍ය කෘති සිනමාව හරහා ජනගත කළ අවස්ථා බොහොමයක් ලෝක සිනමාව හරහා අපට හඳුනාගත හැකිවේ. 

ලෝක සිනමාවේ දී භාරතීය සිනමාවට හිමිවන්නේ විශේෂ තැනකි. භාරතීය සිනමා රසිකයෝ තම ජීවිතය සිනමාව බද්ධ කොටගෙන සිටිති. මේ නිසා ඉන්දීය සිනමා නිර්මාණකරුවෝ තම ප්‍රකාශන සමාජ ගත කිරීමට ඉතා සූක්ෂමව සිනමාව යොදාගනිති. මෙලෙසින් ලෝකයේ බිහිවුණු අපූරු සාහිත්‍ය කෘති පදනම් කරගෙන නිර්මාණය වූ ආදායම් වාර්තා තැබූ භාරතීය සිනමා කෘති කිහිපයක් පිළිබඳවයි මෙම සටහන දිග හැරෙන්නේ.

දේව්දාස්

දේව්දාස් චිත්‍රපටයට පාදක වන්නේ 1917 වසරේ දී සරත්චන්ද්‍ර වට්ටෝපාධ්‍යයි විසින් ලියැවුණු දේව්දාස් නවකතාවයි. මෙය දකුණු ආසියානු කලාපය තුළ වැඩිම වාර ගණනක් සිනමාකරණයට ලක් වුණු කෘතියකි. සරත්චන්ද්‍ර වට්ටෝපාධ්‍යයි විසින් රචිත නවකතාව මත පදනම්ව තම කුඩා කළ මිතුරිය වන පාරෝ සමඟ විවාහ වීමට ලන්ඩනයේ සිට පැමිණෙන ධනවත් නීති උපාධිධාරියෙකු වන දේව්දාස් මුකර්ජි වටා කතාව ඇදී යයි. නමුදු අවසානයේ ඔහුගේම ධනවත් පවුල විසින් ඔවුන්ගේ විවාහය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු මත්පැන් පානයට ලොල් වී චිත්තවේගී පිරිහීමකට ලක් වන තරුණයෙකුගේ චරිතයක් නිරූපණය කරන අතර චන්ද්‍ර මුඛී නම් කාන්තාවගේ රැකවරණය පතයි. ඉන්දියාව ප්‍රාන්ත ගණනාවක් ඇති විවිධ භාෂා කතා කරන ජනතාවක් සිටින රටකි. මෙම කෘතියේ විශේෂත්වය වන්නේ හින්දි, දමිල, තෙලිගු, කන්නඩි, උර්දු, බෙන්ගාලි යනාදී භාෂා ගණනාවකින් එය දහඅට වතාවක් භාරතයෙහිම සිනමාවට නැගී තිබීමයි. ඒ අතරින් අතිශයෙන්ම ජනාදරයට ලක් වූයේ 1955 දී තිරගත වුණු දිලිප් කුමාර්, සචිත්‍රා සෙන් සහ වෛයිජන්තිමාලා රංගනයෙන් දායක වූ දේව්දාස් චිත්‍රපටය මෙන්ම 2002 වසරේ දී සංජය ලීලා බන්සාලිගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණු ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් ශාරුක් ඛාන්, ඓශ්චර්යා රායි සමඟින් මධුරි දික්ෂිත් රංගනයෙන් දායක වූ දේව්දාස් චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය 2002 වසරේ මැයි 22 වන දින කෑන්ස් චිත්‍රපට උළෙලේ දී ප්‍රදර්ශනය වූ අතර එම වසරේම ලොව පුරා ප්‍රදර්ශනය විය. එය ඇමෙරිකානු ඩොලර් මිලියන 10.29 ක අයවැයක් සහිතව නිපදවූ මිල අධිකම චිත්‍රපටයකි. පකිස්තානයේ, බංගලාදේශයේ හා නේපාලයේ ද දේව්දාස් චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකාව තුළ ද දේව්දාස් චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වී තිබෙන්නේ 1956 බාස්කර් රාජ්ගේ අධ්‍යක්ෂණය යටතේය. එය රම්‍යලතා ලෙස නම් කොට තිබුණි. මෙම චිත්‍රපටය එවකට සිංහල සිනමාවේ බෙහෙවින් සාර්ථක වූ චිත්‍රපටයක් විය.

සාවරියා 

සාවරියා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු සිනමාවේ නූතන මැජික්කරු ලෙස සලකන සංජය ලීලා බන්සාලි විසින් 2007 වසරේ දී ය. එහෙත් මෙම චිත්‍රපටය නිර්මාණයට පාදක වුණු සාහිත්‍ය කෘතිය වන්නේ රුසියානු කතුවරයෙකු විසින් රචිත “වයිට් නයිට්” නම් කෙටි කතාවයි. මෙය හින්දි භාෂාවෙන් නිමැවුණු ආදර චිත්‍රපටයක් වුවද මෙම චිත්‍රපටයට පාදක වුණු සාහිත්‍ය කෘතිය නිර්මාණය වන්නේ ඊට බොහෝ කාලයකට පෙරාතුවය. එනම් 1848 දී රුසියානු කතුවරයෙකු විසින් රචිත “වයිට් නයිට්” කෙටි කතාවයි. “වයිට් නයිට්” කෙටිකතාව 1957 වසරේ දී ලුචිනෝ චිස්චොන්ටි නම් ඉතාලි ජාතික සිනමාකරු විසින් මුලින්ම සිනමාකරණය ලක් වේ. බොහෝ රටවල මෙම කෙටිකතාව ආශ්‍රය කරගෙන සිනමා කෘති නිර්මාණ වී තිබේ. භාරත සිනමාවට පැමිණෙන විට දී “වයිට් නයිට්” කෙටිකතාව       “සාවරියා” නමින් ද 2006 වසරේ දී ඉම්තියාස් අලි විසින් “ආහිස්තා” ලෙසින් ද සිනමා සිත්තමට නගා තිබේ.

බ්ලැක්

“බ්ලැක්” චිත්‍රපටය 1903 දී හෙලන් කෙලර්ගේ “ස්ටෝරි ඔෆ් මයි ලයිෆ්” නම් කෘතිය ඇසුරින් නිර්මාණය වූ සිනමා නිමැවුමකි. මෙම පොතෙහි ගැබ් වන්නේ බිහිරි හා අන්ධ කාන්තාවක් (මිෂෙල්) සමාජයට හුරු කරවීමට ඇල්සයිමර් රෝගයට ගොදුරු වූ වයෝවෘද්ධ ගුරුවරයෙකු (ඩෙබ්‍රාජ්) දරන උත්සාහයකි. “ස්ටෝරි ඔෆ් මයි ලයිෆ්” නම් කෘතිය අවස්ථා කීපයක දීම ලෝක සිනමාව තුළ විශිෂ්ට අයුරින් ප්‍රතිනිර්මාණය වී තිබේ. 1962 දී ආතර් පෙන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද “ද මිරැකල් වකර්” යන චරිතාපදාන චිත්‍රපටය ද ඉහත කෘතිය ආභාෂයෙන් නිපදවන ලද අතිශයින් සාර්ථක වූ හොලිවුඩ් චිත්‍රපටයකි. භාරතීය සිනමාව තුළ “ස්ටෝරි ඔෆ් මයි ලයිෆ්” නම් කෘතිය සිනමාකරණයට ලක් වන්නේ 2005 වසරේ “දී බ්ලැක්” නමිනි. බ්ලැක් යනු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගේ සම රචනය සම නිෂ්පාදනය මෙන්ම සම අධ්‍යක්ෂණය යටතේ නිමැවුණු හින්දි චිත්‍රපටයකි. චිත්‍රපටයේ මිශේල්ගේ චරිතයට පණ පොවන්නේ රාණි මුකර්ජි වන අතර ගුරුවරයාගේ චරිතය හොබවන්නේ ප්‍රවීණ රංගන ශිල්පී අම්තාබ් බච්චන් විසිනි. බ්ලාක් චිත්‍රපටය 2005 පෙබරවාරි 04 වන දින ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ අතර සමස්ථ දළ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 15.1 සමඟ වාණිජමය සාර්ථකත්වයක් ලබාගත් චිත්‍රපටයකි. ඒ 2005 වසරේ ඉන්දියාවේ අටවන ඉහළම ආදායම් ලැබූ බොලිවුඩ් චිත්‍රපටය බවට පත්වෙමිනි.

ගුසාරිෂ්

ගුසාරිෂ් යනු 2010 දී තිරගත වූ ඉන්දියානු හින්දි භාෂා ආදර නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය ද සංජේ ලීලා බන්සාලි විසින් රචනා කර, අධ්‍යක්ෂණය කරන ලදී. ගුසාරිෂ් චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ එම චිත්‍රපටය නිර්මාණය වන්නේ ප්‍රවීණ ඉන්දියානු ලේඛක දයානන්ද රාජන්ගේ නවකතාවක් වන “සමර් ස්නෝ” නවකතාව ඇසුරෙන් වීමයි. මෙම චිත්‍රපටයේ රිතික් රෝෂන් සමඟ ඓශ්චර්යා රායි බච්චන් රංගනයෙන් දායක වන අතර ෂර්නාස් පටෙල්, ආදිත්‍ය රෝයි කපූර්, මොනිකාංගනා දත්තා, සුහෙල් සෙත්, ස්වරා භාස්කර් සහ මක්‍රන්ඩ් දේශ්පාන්ඩේ ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙය බන්සාලි සහ යූටීවී මෝෂන් පික්චර්ස් විසින් ඒකාබද්ධව නිෂ්පාදනය කරන ලදී. සුදීප් චැටර්ජී කැමරාකණරය සිදු කළ අතර සංස්කරණය හේමාල් කොතාරි විසින් සිදු කරන ලදී. මෙම චිත්‍රපටයේ අංශභාග රෝගියෙකු වූ මෙන්ම රෝගාතුර වීමට පෙර ඉන්ද්‍රජාලිකයෙකු ලෙස ක්‍රියාකල පුද්ගලයෙකු වට වන කතාවක් විස්තර කෙරේ. ඔහු තම ජීවිතය අවසන් කර ගැනීමට අවසර ඉල්ලා අධිකරණයට පෙත්සමක් ගොනු කරයි. ඔහුට සේවා උපස්ථාන කිරීමට පැමිණෙන සාත්තු සේවිකාවක් සමඟ ඔහුගේ ගණුදෙනුව චිත්‍රපටය පුරාවටම ගලා යයි. මෙම චිත්‍රපටය 2010 නොවැම්බර් 19 වන දින නිකුත් කරන ලද අතර විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබුණි. විශේෂයෙන් රිතික් රෝෂන් සහ ඓශ්චර්යා රායිගේ රංගනයන්, බන්සාලිගේ අධ්‍යක්ෂණය හා කැමරාකරණය යනාදිය විශේෂ ඇගයීමට ලක්විය. රිතික් රෝෂන් ඉදිරිපත් කළ චරිතයේ ප්‍රබල චිත්තවේගීය නිරූපණය ඔහුගේ තීරණාත්මක වෘත්තීය ජීවිතයේ හොඳම රංගනය ලෙස සැලකේ. ඩූම් 2 සහ ජෝධා අක්බර් චිත්‍රපටවලින් පසු ඓශ්චර්යා රායි සමඟ රිතික් රෝෂන් සුසංයෝගයෙන් රඟන තුන්වන චිත්‍රපටය ගුසාරිෂ් ය. මෙම චිත්‍රපටය ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලට ඉදිරිපත් වූ අතර රිතික් රෝෂන් සහ ඓශ්චර්යා රායි පිළිවෙලින් හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස ෆිල්ම්ෆෙයාර් සම්මාන සඳහා නිර්දේශ විය.

මේ ආකාරයට තවත් බොහෝ සාහිත්‍ය නිර්මාණයන්ගේ සාරයෙන් නිමැවුණු චිත්‍රපට ලෝක සිනමාවේ විශේෂයෙන් හඳුනාගත හැකිවේ. සිනමාව හා සාහිත්‍යය යන කලා නිර්මාණ ද්විත්වයේම එක් පොදු ලක්ෂණයක් වේ. සිනමාකරුවන් මෙන්ම නවකතාකරුවන්ගේ අභිප්‍රාය වනුයේ ප්‍රේක්ෂක අවධානයට යොමු වන හා ඔවුන්ගේ චිත්ත සන්තානයට කා වදින අයුරින් කතාවක් ඉදිරිපත් කිරීමයි. එනම් කතන්දරයක් කීම යන කාරණය මතය. ඒ අනුව සිනමා නිර්මාණකරු සාහිත්‍ය කෘතිය කියවා රස විඳීමට ඇති කතාවම පරිකල්පනයෙන් ඔබබ්ට ගොස් රිදී තීරයක් තුළට නිර්මාණාත්මකව ගෙන ඒමට උත්සුක වේ. මෙහි දී සාර්ථක සිනමා නිමැවුම් මෙන්ම ඊට සාපේක්ෂව නිර්මාණ අසාර්ථක වූ අවස්ථා ද ලෝක සිනමාවේ දැකගත හැකිවේ.

තරුෂි නෙත්මිණි රත්නායක
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැළණිය විශ්ව විද්‍යාලය


RECOMMEND POSTS