ක්‍රිකට් පිටියේ කැරලිකාරයා



දකුණු අප්‍රිකාව බලා ගිය කැරලිකාර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ, නායකයා ඔහු විය. එසේම ඔහු සටන්කාමියකු ද විය. ඔහු ඔහුගේ සගයන් වෙනුවෙන් සහ අරමුණ වෙනුවෙන් සටන් කළ අයෙකි. ඔහුගේ දේශපාලන දැක්ම, සැමදෙනාගේම යහපත වෙනුවෙනි. කොතරම් අසීරු වුවත්, ඔහු ඔහුගේ ඉලක්කය වෙනුවෙන් ශක්තිමත්ව, ස්ථාවරව ඉදිරියට පිය මැන්නේය. ජීවිත කාලයම ක්‍රිකට් ක්‍රීඩාවට වෙනුවෙන් කැප කරමින්, ක්‍රිකට්වලට ඇලී ගැලී, ක්‍රිකට් කළමනාකරණ කටයුතු වෙනුවෙන් සිය පූර්ණ දායකත්වය ලබා දීමට හෙතෙම සමත් විය.

2021 ඔක්තෝබර් 17 වැනිදා ජීවිතයෙන් සමුගනිද්දී, බන්දුල වර්ණපුර, ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් සමුගෙන සිටියේය. ඔහු ඔහුගේ අවසන් ටෙස්ට් තරගයට සහභාගී වූයේ අවුරුදු 39 ක් සහ එක් මාසයකට පෙරය. 1963 වසරේ දී නාලන්ද විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙද්දී ඔහුගේ වයස අවුරුදු 10 කි. එදා සිට 2021 තෙක් ගණන් බැලුවොත්, ඔහු අවුරුදු 58 ක කාලයක් ක්‍රිකට් වෙනුවෙන් ජීවිතය කැප කර ඇත.

අවුරුදු 14 දී නාලන්ද විදුහ‍ල් පිලේ ආරම්භක පිතිකරුවෙකු ලෙස සිය පළමු මංගල තරගයට සහභාගී වූ වර්ණපුර, ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ශතකයක් රැස් කළේ අනාගතයේ දක්ෂ ක්‍රිකට් තරුවක් බවට පත් වන බවට ඉඟි කරමිනි. වර්ණපුර, මුලින්ම ජාතික අවධානය දිනා ගත්තේ වයස අවුරුදු 16 දීය. ඒ, ඔහු ඉන්දීය සංචාරයක් සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමත් සමඟය. ඔහු ලකුණු 392ක් ලබා ගත්තේ සාමාන්‍යය 78.40ක් ලෙසිනි.

ඉන්දියාවට එරෙහිව, 1979 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ දී ශ්‍රී ලංකා පිල සුවිශේෂී ජයග්‍රහණයක් කරා ගෙන යෑමට වර්ණපුරට හැකිවිය. ඒ, කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අනුර තෙන්නකෝන් ඊට සහභාගි නොවූ තත්වයක් යටතේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල, ලෝකයේ අවධානය ලක් කිරීමට එම ජයග්‍රහණය හේතු වූවා පමණක් නොව, ඉන්දීය පිල අබිබවා යමින්, ශ්‍රී ලංකා පිල තරගාවලිය අවසන් කළේ කාණ්ඩයේ අංක තුනට පත්වෙමිනි. ප්‍රථම ටෙස්ට් තරගයේ දී නායකත්වය දීමේ ගෞරවය වර්ණපුරට හිමි වූ අතර, වර්ණපුරගේ නායකත්වය යටතේ, කණ්ඩායමේ සෑම ක්‍රීඩකයකුට, ක්‍රීඩා කුසලතා දැක්වීමට සුදුසු වාතාවරණයක් සැකැසිණි. කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීම, 80 දශකයේ මුල් භාගයේ පාසල් කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැති නමුත් 1996 වන විට පිට පළාත් පාසල් රැසකට ද ඒ සඳහා අවස්ථාව උදා විය.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය පැවැති සමයේ, අන්තර්ජාතික ක්‍රිකට් තහනම නොතකා දකුණු අප්‍රිකාව බලා ගිය කැරලිකාර ‘අරෝසා පිලට වර්ණපුර ද ඇතුළත් විය. 1970 දශකයේ නාලන්දාවෙන් බිහිවුණු ක්‍රීකට් විරුවන් ලෙස ලලිත් කළුපෙරුම (33), අනුර රණසිංහ (25), හේමන්ත දේවප්‍රිය සහ සුසන්ත කරුණාරත්න (23) හා බන්දුල වර්ණපුර (29) ඒ ගමනට එක් වූහ. එයින් ශ්‍රී ලංකා ජාතික පිලට විශාල පාඩුවක් විය. මේ පිරිස නාලන්දා විදුහලේ ක්‍රිකට් ක්‍රීඩකයන් පුහුණු කළ ජෙරී ගුණරත්න, මෙන්ඩිස් සහෝදරයන්ගේ සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් කාලයක් තිස්සේ කළ කැපවීමේ සහ මහන්සියේ ප්‍රතිඵලයකි.

මේ කාලයේ ‘බන්දු’ සහ ක්‍රිකට් මණ්ඩලය අතර පැවති සබඳතාව යහපත් එකක් නොවීය. ඔහු ක්‍රීඩාව හා ක්‍රීඩකයන් වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටි විප්ලවකාරයකු ලෙස බලධාරින් අතර හැඟීමක් ගොඩනැඟී තිබුණි. එදා ඔහුට මෙන් ම, ටෝනි ඕපාතගේ ඉල්ලීම මත ඒ ගමන යාමට එකඟව සිටි තරුණ අර්ජුන රණතුංගට ඔහු දුන් ප්‍රකට උපදේශය වූයේ මෙයයි: ‘පොඩි එකා, නුඹ අපිත් එක්ක එන්න එපා. නුඹ මෙහේ දිගටම ක්‍රිකට් සෙල්ලම් කරන්න’. එයින් කියැවුණේ ඔහු ඒ ගමන ගියේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට හානියක් කිරීමට නොව, දැන් මෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවීම් නොකළ, ඒ කාලයේ ආර්ථික වශයෙන් ප්‍රතිලාභාපේක්ෂාවෙන් බව පැහැදිලි වෙයි.

1991 දී, පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟ ක්‍රිකට් පුහුණුකරුවකු ලෙස එක්වූ ඔහු තම සෙවණට ආ ළා බාල ක්‍රීඩකයින්ට ඔවුන්ගේ සිහින හඹා යාමට උපකාර කළේය. එසේම ඔහු යළිත් ඔහුගේ ප්‍රියතම බ්ලූම්ෆීල්ඩ් සමාජයට එක් වී 1992/93 වසරවලදී ඒ ක්‍රිකට් පිලට නායකත්වය දුන්නේය. 

වර්ණපුර පසුව පුහුණු කිරීම, ක්‍රිකට් පරිපාලනය පිළිබඳ විශේෂඥයෙක් විය. කළමනාකරු, පුහුණුකරු ලෙස සේවය ආරම්භ කළ ඔහු අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා බවට ද පත් විය. බන්දු අසාමාන්‍ය ලෙස දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූවා පමණක් නොව, දූරදර්ශී ජනතා හිතවාදී නායකයෙකි. බන්දුල වර්ණපුර වැනි සටන්කාමීන් ක්‍රිකට් ක්‍රීඩාවටත් රටටත් තවත් බිහිවේවා.

උපුල් ගමගේ
නාලන්දා විදුහලේ 50 වැනි ක්‍රිකට් නායකයා
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ හිටපු සභාපති.

RECOMMEND POSTS