හමාස් නායකයා ඉරාන විදේශ ඇමැති හමුවෙලා



ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී, හමාස් සංවිධානයේ දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ සහ ඉරාන විදේශ අමාත්‍ය හුසෙයින් අමීර් අබ්දුල්ලාහියා අතර හමුවක් කටාරයේ දෝහා නුවරදී පැවැත්විණි.

2007 වසරේ සිට ගාසා තීරයේ බලයේ සිටින්නේ හමාස් සංවිධානයයි. මෙය දේශපාලන අංශයකින් සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටුම් ඇති කරගන්නේ සන්නද්ධ අංශ සාමාජිකයන්ය. ඊශ්‍රායලය, ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් කීප දෙනකු හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත.

ඉස්මයිල් හනියේ හමාස් සංවිධානයට දිගින් දිගටම සහාය දෙන බවට ඉරාන රජය වෙනුවෙන් ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

ගාසා තීරයට සැපැයෙන ආහාර, ජලය සහ විදුලිය ද නවත්වා, ගාසා සිවිල් වැසියන් දැඩි පීඩාවට ලක් කරමින්, එම සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් යැයි ඉරානය ඊශ්‍රායලයට චෝදනා කර තිබේ.

ඊශ්‍රායලය දිගින් දිගටම යුද අපරාධ කරමින් පලස්තීනුවන් සමූල ඝාතනය කරන්නේ නම් ඊශ්‍රායලයට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බව ඉරානය පවසා තිබේ.


RECOMMEND POSTS