සිරියාවත් ඊශ්රායලයත් අතරේ කිසිම ගැටුමක් නෑ
ඊශ්රායලය සමඟ ගැටුම් ඇති කර ගැනීමට කටයුතු නොකරන බව, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා දැමීමට, එරට විපක්ෂයට සහාය දුන්, ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ ඉස්ලාමීය සටන්කාමීගේ නායක අහ්මද් අල් ෂාරා කියයි.
අසාද් පාලනය පෙරළා දැමූ විපක්ෂ දේශපාලන නායකයන් සිරියාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරමින්, දේශපාලනික වශයෙන් රටට නායකත්වයක් දීමටත් උත්සාහ කරමින් සිටින නමුත්, බටහිර දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, සිරියාවේ සැබෑ නායකයා අහ්මද් අල් ෂාරාය.
අසාද් රෙජීමය පෙරළා දැමීමෙන් පසු නායක අහ්මද් අල් ෂාරා ප්රසිද්ධියේ ප්රකාශයක් කළ දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. දශකයකට වැඩි කාලයක් තිස්සේ සිවිල් යුද්ධයකින් හෙම්බත් වුණු සිරියාවට ඊශ්රායලය සමඟ ගැටුම් ඇති කර ගැනීමට තරම් ශක්තියක් නැති බවත්, එසේ ගැටුම් ඇති කර ගැනීමේ කිසිදු අදහසක් නොමැති බවත් සිරියානු ජාතික රූපවාහිනියෙන් පෙනී සිටිමින් අහ්මද් අල් ෂාරා අවධාරණය කළේය.
සිරියාවත් යුදෙව් ඊශ්රායලයත් අසල්වැසි රටවල්ය. කලාපීය සෙසු මුස්ලිම් රටවල මෙන්, සිරියාව, ඊශ්රායලය පිළිගන්නේ නැත. ගෝලාන් කඳුකර භූමිය සිරියාවටත් ඊශ්රායලයටත් මැදි වී පිහිටයි. ඊශ්රායලය මෙම භූමියේ පළාත් සෙමින් සෙමින් ආක්රමණය කරමින්, ඒවා ඊශ්රායලයට එක් කර ගනිමින් සිටී.
එසේ ඊශ්රායලයට එක් කරගත් එම පළාත්වල ජනාවාස පිහිටුවීමක් ද සිදු කර ඇත. ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ සටන් වදිද්දී පවා, ඊශ්රායලය ගෝලාන් කඳුකරයේ තවත් පළාත් කීපයක් අල්ලා ගත්තේය.
අසාද් පාලනය ෂියා මුස්ලිම්ය. ෂියා මුස්ලිම් වැසියන් සිරියාවේ සුළුතරයයි. බහුතරය සුන්නි මුස්ලිම්ය. ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ යනු සුන්නි මුස්ලිම් සටන්කාමී කණ්ඩායමකි. මොවුන් ‘අල් කයිඩා’ ත්රස්ත සංවිධානයේ සිරියානු ශාඛාවය. අතීතයේ මොවුන් පෙනී සිටියේ ‘අල් නුස්රා’ යන නමිනි.
සිරියානු ජනාධිපති අසාද්ගේ රජයට ෂියා මුස්ලිම් ඉරානයේ සහාය නොඅඩුව ලැබුණි. එමෙන්ම ඉරාන හිතවාදී, ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ ද සහාය ලැබුණි. ඉරාන සටන්කාමීන් සහ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්රායලයට පහර දුන්නේ සිරියාවේ සිටය. අසාද් පාලනය පෙරළා දැමීමත් සමඟ ඉරාන සටන්කාමීන් සහ හිස්බුල්ලා සටන්කාමීහු සිරියාවෙන් ඉවත් වූහ.
“අද ඉරාන සටන්කාමීන් හෝ හිස්බුල්ලා සංවිධානය හෝ සිරියාවේ ක්රියාත්මක වන්නේ නැහැ. එහෙයින් සිරියාවෙන් ඊශ්රායලයට තර්ජනයක් එල්ල වන්නේ නැහැ.” යැයි ද අහ්මද් අල් ෂාරා පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ගියේ පෙඩර්සන්, ඩමැස්කස් අගනුවරට පැමිණ, අහ්මද් අල් ෂාරා හමුවී සාකච්ඡා පවත්වමින් ...