සිරියාවට යළි අරාබි ලීගයේ සාමාජිකත්වය



වසර 10 කට පසු අරාබි ලීගයේ සාමාජිකත්වය යළි සිරියාවට ලබා දීමට එම ලීගය තීරණය කර තිබේ. අරාබි ලීගයෙන් සිරියාව නෙරපා දමා තිබුණේ සිරියානු සිවිල් යුද්ධය මුල්කොට ගනිමිනි.

සිරියාවේ සිවිල් යුද්ධයක් නිර්මාණය වූයේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් බලයෙන් නෙරපා දැමීමට එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් උත්සාහ ගත් බැවිනි. එම දේශපාලන කණ්ඩායම් අවි ආයුධ දී ශක්තිමත් කළේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයයි.

කෙසේ නමුත් අවසානයේ, ඉරාකයෙන් ආරම්භ වුණු අයි.එස්. ත්‍රස්තවාදීන් ලොවට තර්ජනයක් වූයේ එම අවි ආයුධවලින් ශක්තිමත් වෙමිනි. අද රුසියාවේ, ඉරානයේ සහ තුර්කියේ සහාය ලබා ගනිමින්, අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කිරීමට සිරියානු රජය සමත් වී සිටී.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියානු ජනාධිපති අසාද් ප්‍රමුඛ රජයට සම්බාධක පනවා ඇති නමුත්, අරාබි ලීගය ඒකමතිකව තීරණය කර ඇත්තේ සිරියාවට යළි අරාබි ලීගයේ සාමාජිකත්වය ලබා දිය යුතු බවය. මේ බව තීරණය කෙරුණේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට, අරාබි ලීගයේ විදේශ අමාත්‍යවරුන් රැස්වී සාකච්ඡා කිරීමෙන් පසුවය. අරාබි ලීගයේ මූලස්ථානය ඇත්තේ කයිරෝ අගනුවරය.

(රොයිටර්)


RECOMMEND POSTS