සිරියාව යළි ගොඩනගන්න චීනයේ සහාය



යුද ගැටුම්වලින් විනාශ වූ සිරියාව ප්‍රතිසංස්කරණය කිරීමට සහාය ලබා දෙන බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි. ෂී ජින්පින් මෙසේ පැවැසුවේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සහ බිරිඳ අස්මා හමුවුණු අවස්ථාවේදීය.

උපාය මාර්ගික වශයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින් සහ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් අතරේ එකඟතාවක් පවතී. සිරියානු ජනාධිපති අසාද් සහ බිරිඳ චීනයට ගොස් ජනාධිපති ෂී ජින්පින් හමුවූයේ එම එකඟතාවට අනුවය.
‘අස්ථාවර, අවිනිශ්චිත වටපිටාවක් සිරියාවේ නිර්මාණය වී තිබෙනවා. බටහිර රටවලින් සිරියාවට සාධාරණයක් ඉටු නොවන බව පැහැදිලියි. නමුත් චීනය සිරියානු රජය සමඟ දිගටම සහයෝගයෙන් කටයුතු කරන්න සූදානම්.’ යැයි සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් හමුවුණු අවස්ථාවේදී, චීන ජනාපධිති ෂී ජින්පින් පැවැසූ බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

සිරියානු ජනාධිපතිවරයා සහ බිරිඳ චීනයට ගියේ පසුගිය 21 වැනිදාය. විශේෂ ගුවන් යානයකින්, දකුණු දිග චීනයේ හැංග්ෂූ නගරයට ගිය අසාද් සහ බිරිඳ උණුසුම් අයුරින් පිළිගැනීමට චීන රජය කටයුතු කර තිබුණි. සිරියාවේ යුද ගැටුම් හේතුවෙන් බටහිර සම්බාධක මැද සිදුවුණු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ මෙම චීන සංචාරය ඉතා වැදගත් එකක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලොව දෙවැනි විශාලතම ආර්ථික බලවතා වන චීනය සමඟ වාණිජමය වශයෙන් සබඳතා ගොඩනගා ගැනීම සිරියාවට ලොකු ශක්තියක් වනු ඇති බව ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩි දුරටත් පැහැදිලි කර දෙති.

 


RECOMMEND POSTS