සිරියාව ත්රස්තයන්ගේ අතේ: පලාගිය ජනපති කියයි
සිරියානු විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන් සිරියාව අල්ලා ගනිද්දී, රුසියාවට පලා ගිය ජනාධිපති බෂාර් අල් අසාද් මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය. සිරියාවෙන් පලා ගිය පසු 59 හැවිරිදි අසාද් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.
තමන් රටින් පලා යෑමට සැලැසුම් කර නොතිබුණු බවත්, විපක්ෂයට සහාය දක්වන ‘හයාත් තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමට සූදානමින් සිටි බවත් ජනාධිපති අසාද් පැහැදිලි කළේය. කෙසේ නමුත් තමන් අවසන් මොහොතේ සිරියාවේ සිටියේ නම්, තමන්ටත් තම දරුවන් බිරිඳ ඇතුළු පවුලේ සියලු දෙනාටමත් අත්වන්නේ මරණය යැයි ද අසාද් පැහැදිලි කළේය.
අසාද් සහ පවුලේ අය මේ වනවිට රැඳී සිටින්නේ රුසියාවේය. රුසියානු ජනාධිපති පුටින් ඔවුන්ට දේශපාලන රැකවරණ ලබා දීමට පියවර ගෙන ඇත. බෂාර් අල් අසාද් සිරියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2000 වසරේදීය. බෂාර් අල් අසාද්ට පෙර සිරියාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ අසාද්ගේ පියා හෆේස් අල් අසාද්‍ය. බෂාර් අල් අසාද් බලයට ආවේ පියාගේ මරණයෙන් පසුවය.
අසාද් පාලනය පෙරළා දැමීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය පළ කළ ‘හයියාත් තහ්රීර් අල් ෂාම්’ යනු සුන්නි මුස්ලිම් සටන්කාමී කණ්ඩායමකි. මොවුන් ‘අල් කයිඩා’ ත්‍රස්ත සංවිධානයේ සිරියානු ශාඛාවය. අතීතයේ මොවුන් පෙනී සිටියේ ‘අල් නුස්රා’ යන නමිනි. සිරියාව ත්රස්තවාදීන්ගේ ග්‍රහණයේ පවතින බව අසාද් පවසන්නේ මේ නිසාය.