සිරියානු කැරැළිකරුවෝ හාමා නගරයට කිට්ටු වෙති
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ධුරයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා සන්නද්ධ කැරැලිකරුවන්, හමා නගරය අල්ලා ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට, මිලියන දෙකකට වැඩි පිරිසක් වෙසෙන, සිරියාවේ විශාලතම නගරය ද වන ඇලෙප්පෝ නගරයේ ප්‍රදේශ කීපයක් ඇත්තේ මෙම කැරැලිකරුවන් සතුවය. කැරැලිකරුවන් මෙහෙයම සිදු කරන්නේ ‘හයියාත් අල් ෂාම්’ නමැති ඉස්ලාමීය සන්නද්ධ අංශයයි.
කැරැලිකරුවන් හමා නගරය අල්ලා ගැනීමට සූදානම් වෙද්දී, ඇලෙප්පෝ නගරයේ කැරැලිකරුවන් ඉලක්ක කර ගනිමින් සිරියානු රජයේ හමුදාවත්, ඔවුන්ට සහාය දක්වන රුසියන් ගුවන් හමුදාවත් ප්‍රහාර ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.
සිරියානු ජනාධිපති අසාද්ට, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්රමුඛ රුසියාවේ සහාය හිමිවෙයි. ඊට ප්‍රධානතම හේතුවෙ මැදපෙරදිග කලාපයේ එකම රුසියන් හමුදා කඳවුර පිහිටා ඇත්තේ සිරියාවේ වීම නිසාය.
ජනාධිපති අසාද්ගේ පාලනය පෙරළා දැමීමට, බටහිර සහාය ලබන එරට විපක්ෂ ක්‍රියාකාරීන් සන්නද්ධ අරගලයක් ආරම්භ කළේත්, පසුව එය සිවිල් යුද්ධයක් තෙක් දුරදිග ගියේ, 2011 වසරේදීය. ඇමෙරිකාව සහ ප්‍රංශය විපක්ෂ ක්‍රියාකාරීන්ට ලබා දුන් අවි ආයුධවලින් අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානය බිහි වී ලොවට තර්ජනයක් වූයේ ද සිරියානු සිවිල් යුද්ධය ඔඩුදුවද්දීය.
රුසියාව පමණක් නොව, ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානය ද සහාය දක්වන්නේ අසාද්ගේ රජයටය. අසාද්ගේ රජය ෂියා මුස්ලිම්ය. අයි.එස්.අයි.එස්. සංවිධානය සිරියාවේ අඩපණ වූයේ රැසියාව සහ ඉරානය සිරියානු රජයට සහාය දෙද්දී, තුර්කිය ඇමෙරිකාව ආදී රටවල් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙමින්, අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ට පහර දෙද්දීය.
ඉන්පසු වසර ගණනාවක්ම සිරියානු රජය පෙරළා දැමීමට උත්සාහ ගන්නා විපක්ෂ කැරැලිකරුවන් සිරියාවේ ඉඩ්ලිබ් පළාතට සීමා විය. ඔවුන් ඇලෙප්පෝ නගරයේ ප්‍රදේශ අල්ලා ගත්තේත්, හමා නගරය අල්ලා ගැනීමට සූදානම් වන්නේත්, ඉඩ්ලිබ් පළාතේ සිට ක්‍රියාත්මක වෙමිනි. මේ වනවිට සිරියානු රජයට සහාය දක්වමින් රුසියන් ගුවන් හමුදාව ඉඩ්ලිබ් පළාතේ සතුරු ඉලක්ක වෙත පහර දෙන බව ද වාර්තා වේ.