සටන් විරාමය අවසන්



හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතරේ පැවැති තාවකාලික සටන් විරාමය අවසන් විය. ඒ, සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කරමින්, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමත් සමඟය.

තාවකාලික සටන් විරාමය අවසන් වූයේ සතියකට පසුවය. සටන් විරාමය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදා, ඒ, සිවු දින සටන් විරාමයක් ලෙසය. පසුව දෙපාර්ශ්වය අතරේ පැවැති සාකච්ඡා සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස සටන් විරාමය සතියක් දීර්ඝ කර ගැනුණි.

එම කාලය තුළ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල වැසියන් 110 දෙනකුට නිදහස හිමිවිය. තවත් ඊශ්‍රායල වැසියන් 130 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යළි ගැටුම් ආරම්භ වීමත් සමඟ එම ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිත පිළිබඳ බියක් හටගෙන ඇතැයි ද පැවැසෙයි.

හමාස් ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් වෙනුවෙන්, ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීන සිරකරුවන් 150 ක් මුදා හැරීමට ඊශ්‍රායල රජය පියවර ගෙන තිබේ. එම සිරකරුවන් 150 දෙනාගෙන් 117 දෙනකු යොවුන් වියේ දරුවන් බවත්, 33 දෙනකු කාන්තාවන් බවත් පැවැසෙයි.

හමාස් සංවිධානය, එල්ල කළ රොකට් ප්‍රහාරය සටන් විරාමයට අදාල කොන්දේසි කඩ කිරීමක් බවත්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් යළි ප්‍රහාර ආරම්භ කළ බවත් ඊශ්‍රායල හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් සටන් විරාමයකට කැමැති කරවා ගත්තේ කටාර් රාජ්‍යයයි. ඒ පසුපස ඇමෙරිකාව සහ ඊජිප්තුව සිටී.
මේ අතර සටන් විරාමය අවසන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සිය කනස්සල්ල පළ කර තිබේ.

ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කරන්නැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයෙන් ඉල්ලා තිබේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යළිත් වරක් අවධාරණය කර ඇත්තේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමන තුරු සටන් නවත්වන්නේ නැති බවය.


RECOMMEND POSTS