සංක්‍රමණික සේවකයින් 500 ක් මියගිහින්



පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය කටාර් රාජ්‍යයට හිමිවීමෙන් පසු එහි වැඩබිම් වලට ආ සංක්‍රමණික සේවකයින් 400-500 අතර ප්‍රමාණයක් 2011 වසරේ සිට ලෝක කුසලානය ආරම්භ වන දින දක්වා මියගොස් ඇතැයි කටාර් පාපන්දු ලෝක කුසලාන ප්‍රධානි හසාන් අල් තවාඩි මහතා සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය පසුගිය 2010 වසරේ කටාර් රාජ්‍යයට හිමි වීමත් සමග මේ දක්වා ලෝක කුසලානයට සුදානම් වීමට යාමේදී සංක්‍රමණික සේවකයන් 6500 ක් පමණ මියගොස් ඇතැයි ”ද ගාර්ඩියන්” පුවත්පත පළකර ඇති වාර්තා අසත්‍ය බව හසාන් අල් තවාඩි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත.

සෑම වසරකම ලෝක කුසලානය සඳහා සුදානම් වූ වැඩබිම් වල සෞඛ්‍ය සහ ආරක්ෂණ ප්‍රමිතීන් දියුණු වූ බවත් එම වැඩබිම් වල වෘත්තිය සමිති ක්‍රියාත්මක වූ බවත් ඔහු එහිදී පවසා ඇත.නමුත් එක් මරණයක්වත් සිදු නොවිය යුතුව තිබුණු බව තමන් පිළිගන්නා බව ඔහු පැවසුවේය.

ලෝක කුසලානයට සුදානම් වීමේදී මියගිය සංක්‍රමණිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් කටාරයට පැමිණ ඇත්තේ 2010 වසරේදී කටාරය පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දිනා ගැනීම හේතුවෙන් 2011 වසරේ එම වැඩබිම් වල වැඩකිරීමට බව සංක්‍රමණිකයන්ගේ මිය යෑම් පිළිබඳ සොයා බැලූ ”ෆෙයාර් ස්ක්වෙයාර් ප්‍රොජෙක්ට්” සංවිධානයේ අධ්‍යක්ෂක නික් මැක්ගීහැන් මහතා ”ද ගාර්ඩියන්” පුවත්පතට පවසා ඇත.

මෙම සංක්‍රමණිකයන් පිළිබඳ නිවැරදි දත්ත, මියගිය සේවකයන් වෙනුවෙන් වන්දි මුදලක් ලබා දුන්නාද, ඔවුන් මියගිය අකාරය පිළිබඳ පැන නගින ප්‍රශ්න පිළිබඳ ලෝක පාපන්දු සම්මේලනය සහ කටාරය පිළිතුරු දිය යුතු බව ඔහු ”ද ගාර්ඩියන්” පුවත්පතට පෙන්වා දී තිබේ.

කටාර් ලෝක කුසලාන සංවිධායකින් මියගිය සංක්‍රමණ සේවකයන් සංඛ්‍යාව 40 ක් බවත් ඉන් තුන් දෙනෙකු පමණක් වැඩබිම් වල සිදු වූ අනතුරු හේතුවෙන් මිය ගිය බවත් මීට පෙර ප්‍රකාශ කර තිබිණ.හසාන් අල් තවාඩිගේ මෙම ප්‍රකාශය සමග මියගිය ගණන 40 සිට 400 දක්වා වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

(විමුක්ති එස් රුද්‍රිගු)


RECOMMEND POSTS