ලෙබනන් හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් සිවිල් වැසියන් ගණන 492 දක්වා ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 1,645 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.
ඊශ්‍රායල හමුදාව දේශසීමා හරහා ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට පහර දෙන්නේ මිසයිල, රොකට් ප්‍රහාර ආදිය භාවිතයට ගනිමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර 650 කට වැඩි ගණනක් එල්ල කර ඇති බවය. ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කරන්නේ දකුණු දිග සහ නැගෙහිර ලෙබනනයේ ඉලක්කවලටය.
මේ අතර, ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයිඑක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා සිටියේ,ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ගැටුම් මේ වනවිට දරුණු ලෙස උත්සන්න වී ඇති බැවිනි.
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ හටගත් ගැටුම්කාරී තත්ත්වය, කලාපීය වශයෙන් මහා යුද්ධයකට පෙරළෙනු ඇතැයි මෙම අර්බුදය සම්බන්ධයෙන් රැස්වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද බිය පළ කළේය.
ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට වගබලාගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල රජයටත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුටත් දන්වා ඇත.
ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන යුද්ධයේ දිගුවක් ලෙසය.
හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සංවිධානයේ සහාය නොඅඩුව හිමිවෙයි. හිස්බුල්ලා සංවිධානය යනු ඉරානයේ අනුග්‍රහය යටතේ, ඊශ්‍රායලයට එරෙහිව පිහිටුවනු ලැබූ සංවිධානයකි. මෙය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය පමණක් නොව ඇමෙරිකාව ද හිස්බුල්ලා සංවිධානය ‘ත්‍රස්ත සංවිධානයක්’ ලෙස සලකයි.
(එන්.ඩී.ටීවී.)