ලෙබනනයේ ගොඩබිම් ප්‍රහාරයකට ඊශ්‍රායලය සූදානම්



උතුරු ඊශ්‍රායලය හරහා ලෙබනනයට හමුදා මෙහෙයවා, හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගොඩබිම් සටන් ආරම්භ කිරීමට ඊශ්‍රායලය සූදානම් වෙයි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් කරමින් සිටි, ඊශ්‍රායල හමුදා සේනාංක කීපයක් සහ අතිරේක හමුදා සෙබළුන් මේ වනවිට ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ සීරුවෙන් සිටින බවත්, ප්‍රහාරයක් සඳහා ඔවුන් යුද අභ්‍යාසවල නියැලෙන බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් පවසා ඇත.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා, උතුරු ඊශ්‍රායල දේශසීමාවට ගොස්, එම සෙබළුන් යුද අභ්‍යාසවල යෙදෙන ආකාරය අධීක්ෂණය කළේය. ‘ගොඩබිම් ප්‍රහාරයකට අප ඕනෑම මොහොතක සූදානම්.’ යැයි ආරක්ෂක අමාත්‍යවරයා සිය එක්ස් ගිණුම ඔස්සේ පවසා ඇත.

මේ අතර, හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ගුවන් හමුදාව දිගින් දිගටම ලෙබනනයට පහර දෙයි.

පසුගිය දින දෙක ඇතුළත ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 569 දක්වා ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 1,645 ක් බව ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත. ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාර හමුවේ දකුණුදිග ලෙබනනයේ සිවිල් වැසියන් දස දහස් ගණනක් ඔවුන්ගේ ගම්බිම් අතහැර පලා ගොස් ඇත.

ලෙබනනය තවත් ගාසා තීරයක් වීමට ඉඩ නොතබන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඊශ්‍රායලයෙන් මෙසේ ඉල්ලා සිටියේ,ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ගැටුම් මේ වනවිට දරුණු ලෙස උත්සන්න වී ඇති බැවිනි.

ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් අතරේ හටගත් ගැටුම්කාරී තත්ත්වය, කලාපීය වශයෙන් මහා යුද්ධයකට පෙරළෙනු ඇතැයි මෙම අර්බුදය සම්බන්ධයෙන් රැස්වුණු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද බිය පළ කළේය.

ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට වගබලාගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායල රජයටත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුටත් දන්වා ඇත.

ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන යුද්ධයේ දිගුවක් ලෙසය.

හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සංවිධානයේ සහාය නොඅඩුව හිමිවෙයි. හිස්බුල්ලා සංවිධානය යනු ඉරානයේ අනුග්‍රහය යටතේ, ඊශ්‍රායලයට එරෙහිව පිහිටුවනු ලැබූ සංවිධානයකි. මෙය දේශපාලන අංශයකින් මෙන්ම සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය පමණක් නොව ඇමෙරිකාව ද හිස්බුල්ලා සංවිධානය ‘ත්‍රස්ත සංවිධානයක්’ ලෙස සලකයි.

 (අල් ජසීරා)


RECOMMEND POSTS