රුසියන් යුක්රේන අර්බුදයට සෞදි අරාබිය මැදිහත් වෙයි
රුසියන් යුක්රේන අර්බුදයට මැදිහත් වී, සාම සැලැස්මක් හඳුන්වා දීමට සෞදිය සූදානම් වෙයි.
සෞදිය, රුසියන් යුක්රේන අර්බුදයට මැදිහත් වීමට සූදානම් වන්නේ යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් 30 ක් ද හවුල් කර ගනිමිනි. චිලී රාජ්‍යය, ඊජිප්තුව, ඉන්දුනිසියාව, මෙක්සිකෝව, පෝලන්තය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, සැම්බියාව එම රටවල් අතරේ සින බව පැවැසෙයි.
සෞදි නියෝජිතයන් සහ මෙම රටවල නියෝජිතයන් රුසියන් සහ යුක්රේන රජයේ නියෝජිතයන් හවුල් කර ගනිමින් ලබන අගෝස්තු 5 සහ 6 සෞදියේ ජෙඩා නුවරදී සාම සමුළුවක් පැවැත් වීමට නියමිතය.
මෙම සාම සමුළුව සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ තම නියෝජිතයන් ඊට සහභාගී වනු ඇති බවය. සාම සාකච්ඡා පැවැත්වීමේ අදහස කිසිම අවස්ථාවක බැහැර කර නොමැති බව ද ජනාධිපති පුටින් අවධාරණය කර තිබේ.
සෞදියේ මැදිහත් වීමෙන් ජෙඩා නුවර පැවැත්වෙන සාම සමුළුවට යුක්රේන රජයේ නියෝජිකයන් සහභාගී වන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද පවසා ඇත.
රුසියන් යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමට චීනය ද මැදිහත් වී මීට පෙර සාම සැලැස්මක් හඳුන්වා දුන්නේය. චීනයේ මිතුරකු ද වන රුසියාව එම සාම සැලැස්මට කැමැත්ත පළ කළත් යුක්රේනය ඊට කැමැත්ත පළ කළේ නැත. චීනයේ සාම සැලැස්ම ඇමෙරිකාවේ ද පැසැසුමට ලක් නොවිණි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව සිය හමුදාව මෙහෙයවූයේ පසුගිය 2022 වසරේ පෙබරවාරියේය. ඒ, යුක්රේනය ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක්වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීම තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව රුසියාවේ අදහස වී තිබේ. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ඒ අනුවය.