යේමන අර්බුදයටත් විසඳුමක්



සෞදිය සහ ඉරානය අතර යහපත් සබඳතා වර්ධනය වීමත් සමඟ යේමන අර්බුදය අවසන් කිරීමේ අරමුණින්, යේමනයේ හවුති කැරැලිකරුන් සහ සෞදි රජය අතර ද සාකච්ඡා ආරම්භ විය. එම සාකච්ඡා ආරම්භ වූයේ ඕමානයේ මැදිහත් වීමෙනි.

යේමන අර්බුදය වසර 9 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතී. යේමන අර්බුදයට හේතුව සෞදියේ අනුග්‍රහය ලැබූ සුන්නි මුස්ලිම් යේමන රජය, ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් විසින් පෙරලා දමනු ලැබීමත් සමඟය. හවුති කැරැලිකරුවන්ට ඉරානයේ අනුග්‍රහය සහ සහාය නොඅඩුව ලැබුණි. ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන්නේ ඉරානයයි.

හවුති කැරැලිකාර නායකයන් සහ සෞදි රජයේ නියෝජිතයන් අතර සාකච්ඡා ආරම්භ වූයේ සෞදියේත්, යේමනයේත් පිහිටා ඇති ඕමාන කොන්සල් කාර්යාල හරහාය.

ඕමාන විශේෂ නියෝජිත කණ්ඩායමක්, හවුති නායකයන් සහ සෞදි නියෝජිතයන් හමුවී පළමුවෙන් සාකච්ඡා පැවැත් වූ අතර, පසුව හවුති කැරැලිකාර නායකයන් සහ සෞදි රජයේ නියෝජිතයන් අතර හමුව පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එදිරිවාදිකම් පසෙකලා, වසර 7 කට පසු මේ වනවිට සෞදිය සහ ඉරානය අතර යහපත් සබඳතා ආරම්භ වී ඇත. ඒ සඳහා මැදිහත් වී කටයුතු කළේ චීනයයි.

සෞදිය සහ ඉරානය අතරේ සබඳතා බිඳ වැටුණේ සෞදිය ෂියා මුස්ලිම් ආගමික නායකයකුට මරණ දඩුවම ලබා දීමේ සිද්ධියක් නිසාය. සබඳතා යහපත් වීමත් සමඟ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිට සෞදි අරාබියේ සංචාරයකට එන්නැයි සෞදි රජය ඇරැයුම් කර ඇති බවත්, ඉරාන ජනාධිපතිවරයා එම ඇරැයුම පිළිගත් බවත් වාර්තා වේ.

මේ අතර, සෞදි ඉරාන සබඳතා ශක්තිමත් වීමත් සමඟ වසර හතකට පසු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට නව තානාපතිවරයකු පත් කිරීමට ද ඉරානය කටයුතු කළේය. ඉරාන විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේ නව තානාපති ලෙස රේසා අමේරි පත් කළ බවය.

(රොයිටර්)


RECOMMEND POSTS