යුද්ධයකට කැමැති නෑ: හැබැයි යුද්ධයකට සූදානම්
තමන් යුද්ධයකට කැමැත්තක් නොදැක්වුවත්, යුද වැදීමට සූදානමින් සිටින බව ඊශ්‍රායලයත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් පවසා ඇත. ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය මෙසේ පවසා ඇත්තේ, යුද්ධයකට යෑමෙන් වළකින්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිණි.
හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායලයට මිසයිල 300 කට වැඩි ප්‍රහාරයක් එල්ල කළේත්, එම ප්‍රහාරය වළක්වා ගනිමින්, පෙරළා හිස්බුල්ලා කඳවුරු 11 ක් ඉලක්කට පහර දීමට ඊශ්‍රායලය සමත් විය.
ඊශ්‍රායලයත් හිස්බුල්ලා සංවිධානයත් අතරේ මෙසේ යුද ගැටුමක් නිර්මාණය වූයේ, ඊශ්‍රායල ප්‍රහාරයකින්, හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරී ෆුවාද් ෂුකර් මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.
දෙපාර්ශ්වය අතරේ ගැටුම් උත්සන්න වෙද්දී, යුද බියක් නිර්මාණය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය දිගින් දිගටම ඊශ්‍රායලයෙන් සහ හිස්බුල්ලා සංවිධානයෙන් ඉල්ලා සිටියේ ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩනොතබන බවය. යුද්ධයකට යෑමට තමන්ගේ ද කැමැත්තක් නැති නමුත්, ඕනෑම මොහොතක යුද්ධයකට සූදානම් යැයි දෙපාර්ශ්වයම පැවැසුවේ මෙම අවස්ථාවේදීය.
හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින්, එම ප්‍රහාර වළක්වමින්, පසුව ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට පහර දීමට ඊශ්‍රායල ගුවන් හමුදාව ඔහුගේ ප්‍රහාරක ජෙට් යානා 100 ක් යොදා ගත්තේය. මෙම ගුවන් යානා ඔවුන්ගේ මෙහෙයුම් සිදු කළේ පැය ගණනක් ඊශ්‍රායල ගුවන් සීමාවේ සැරිසරමිණි. යානාවලට අවශ්‍ය ඉන්ධන උඩු ගුවනේ දීම ලබා දීමට ඉන්ධන ප්‍රවාහන යානාය යෙදවිණි.
ඊශ්‍රායලය සමඟ ගැටෙන හිස්බුල්ලා සංවිධානය, දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටෙන්නේ හිස්බුල්ලා සන්නද්ධ අංශයයි. ‘හිස්බුල්ලා’ යනු අරාබි බසින්, ‘දෙවියන්ගේ කණ්ඩායම’ යන අර්ථයයි.
හිස්බුල්ලා සංවිධානයේ ආරම්භය සිදුවූයේ ලෙබනන් සිවිල් යුද සමයේදීය. 1982 වසදර වෙද්දී, ලෙබනනයේ බීරූට් අගනුවර ඊශ්‍රායලය විසින් අල්ලා ගනු ලැබ තිබුණි. 2000 තෙක් දකුණු ලෙබනනය පැවැතියේ ද ඊශ්‍රායලයේ ග්රහණයේය. හිස්බුල්ලා සන්නද්ධ අංශය පිහිටුවීම සිදුවූයේ ඉරාන විප්ලපීය හමුදාවේ මැදිහත් වීමෙනි. ඒ, ඊශ්‍රායල හමුදා සමඟ සටන් වැදීමටය.
2006 වසරේ ජූලි සිට අගෝස්තු දක්වා මාසයක් තිස්සේ ඊශ්‍රායලයත් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයත් අතරේ යුද්ධයක් පැවැත්විණි. එම යුද්ධයෙන් ලෙබනනයේ 1,600 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, ඔවුන්ගෙන් වැඩි දෙනා ලෙබනන් සිවිල් වැසියන්ය. හිස්බුල්ලා ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ 160 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ඊශ්‍රායල සොල්දාදුවන්ය. එම ගැටුමට මුල් වූයේ ඊශ්‍රායල ලෙබනන් දේශසීමාවේ දී හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල සෙබළුන් දෙදෙනකු පැහැරගෙන යෑමේ සිද්ධියකි.
ඊශ්‍රායල හිස්බුල්ලා යුද්ධය අවසන් වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී, ඉදිරිපත් කළ යෝජනාවකට අනුවය. එම යෝජනාවට අනුව, දකුණු ලෙබනනයේ අවි දරා සිටිය හැකි එකම සන්නද්ධ කණ්ඩායම ලෙස සැලකුණේ ලෙබනන් රජයේ හමුදාව සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව පමණි.
එසේ වුවත්, හිස්බුල්ලා සංවිධානය, දකුණු ලෙබනනයේ, රහසිගතව, ඔවුන්ගේ කටයුතු කරගෙන යයි. දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් කඳවුරු ඇති අතර, ඒවා ඇත්තේ භූගතවය. උමං පද්ධතිවලින් එම කඳවුරු එකිනෙක සම්බන්ධ වී පවතී. නැගනෙහිර ලෙබනනයේ, සිරියා දේශසීමාවට අසල බෙක්කා නිම්නය හිස්බුල්ලා සංවිධානය යටතේ පවතී.
හිස්බුල්ලා සංවිධානයේ ආරම්භය ලෙස සැලකෙන්නේ ද මෙම ‘බෙක්කා’ නමැති නිම්නයයි.
ඉරානයෙන් අවි ආයුධ හිමිවෙයි. ඊට අමතරව, අවි පුහුණු ද හිස්බුල්ලා සටන්කාමීන්ට හිමිවෙයි. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, හිස්බුල්ලා සටන්කාමීහු 1,00,000 ක් යැයි පැවැසෙයි.
හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා ලෙස තේරී පත් වී සිටින්නේ හසාන් නසරැල්ලාය. ඒ, 1992 වසරේ සිටය. හසාන් නසරැල්ලා හිස්බුල්ලා මහ ලේකම්වරයා වූයේ, ඔහුට පෙර සිටි මහ ලේකම්වරයා ඊශ්‍රායල හමුදාව ඝාතනය කළ බැවිනි. හසාන් නසරැල්ලා ප්‍රසිද්ධියේ පෙනී සිටිමෙන් වැළැකී සිටී. ඒ, ඊශ්‍රායලය ඔහු ඝාතනය කිරීමට සූදානමින් සිටින බැවිනි.
මැදපෙරදිග කලාපයේ, යුදෙව් ඊශ්‍රායලයේ, කෙණෙහිලිකම්වලට එරෙහිව නැගී සිටින ෂියා මුස්ලිම් සංවිධානය ලෙස ද හිස්බුල්ලා සැලකෙයි. යේමනයේ, ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට සහාය සහ අනුග්‍රහය දක්වන්ගේ හිස්බුල්ලාය. සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයට ද හිස්බුල්ලා සහාය හිමිවෙයි.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. ඒ, 1980 දශකයේ සිදුවුණු බෝම්බ පිපිරීම් සහ සහ පැහැරගැනීම් රැසක් පසුපස සිටින්නේ හිස්බුල්ලා යැයි චෝදනා නගමිනි. බීරූට් අගනුවර, ඇමෙරිකන් මෙරීන් සෙබළුන් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ ද හිස්බුල්ලා සාමාජිකයන්ය.