මෝදි ඊජිප්තුවේ



ඇමෙරිකා සංචාරය අවසන් කර ආපසු එද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊජිප්තුවට ගියේය.

ඊජිප්තු ජනාධිපති අල් සීසී ප්‍රමුඛ රජයෙන් මෝදිට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ද්වී පාර්ශ්වීය සබඳතා ද ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්විණි.

ඉන්දියාව මෙන්ම මෝදි ද ඊජිප්තුවේ සමීප මිතුරකු බව පෙන්වා දෙමින්, 'Order of the Nile' සම්මානය මෝදිට පිරිනැමීමට ද ජනාධිපති අල් සීසී කටයුතු කළේය.

ඊජිප්තු රජයෙන් පිරිනැමෙන ඉහළතම ගෞරව සම්මානය මෙයයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊජිප්තුව බලා පැමිණියේ ඊජිප්තු ජනාධිපති අල් සීසීගේ ඇරැයුමකට අනුවය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු මෙසේ ඊජිප්තුවට පැමිණ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීම කළේ වසර 26 කට පසුව වීම ද විශේෂත්වයකි.

G-20 සමුළුව ඉන්දියාවේ පැවැත්වෙන අතර, අල් සීසී ද ඊට සහභාගි වෙයි. සමුළුවට සමගාමීව අල් සීසී ඉන්දීය සංචාරයක් ද අරඹනු ඇතැයි පැවැසෙයි.

ජනාධිපති අල් සීසී G-20 සමුළුවට සහභාගී වන්නේ විශේෂ ආරාධිතයකු ලෙසය.

ඊජිප්තු සංචාරයේ දී මෝදි, කයිරෝ අගනුවර පිහිටි 11 වැනි සියවසේ ඉදි කෙරුණු අල් හකීම් දේවස්ථානය නැරැඹීමටත්, හෙලියෝපොලිස් පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමියට ගොස් උපහාර දැක්වීමටත් අමතක නොකළේය.

අල් හකීම් දේවස්ථානය වර්ග කිලෝ මීටර් 13,560 ක භූමියක ඉදිකර තිබේ. අතීතයේ මෙම දේවස්ථානය ඉදි කිරීමේ  දී ඉන්දියාවේ බෝරාවරුන්ගේ ද සහාය ලැබී තිබේ. 1970 වසරේ සිට මෙම මුස්ලිම් දේවස්ථානය නඩත්තු කරන්නේ ද බෝරා ප්‍රජාව යැයි පැවැසෙයි.

හෙලියෝපොලිස් යුද සුසාන භූමියට ගිය අවස්ථාවේදී පළමු ලෝක යුද්ධයෙන් මියගිය එක් ඉන්දීය සොල්දාදුවකුගේ සොහොනකට අග්‍රාමාත්‍ය මෝදි පුෂ්පොපහාර දැක්වීය.

එදා ඊජිප්තුවත් පලස්තීනයත් අතර පැවැති යුද්ධයේ දී ඉන්දීය සොල්දාදුවෝ 4,000 ක් දිවි පිදූ බව ද පැවැසෙයි.


RECOMMEND POSTS