මැදපෙරදිග අර්බුදයට මුල ඇමෙරිකාව - පුටින්ගෙන් චෝදනා
මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්‍රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාව ඊට මැදිහත් වී, ඊශ්‍රායලයට සහාය පළ කරන නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා කරයි.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ආරම්භ කරන්නැයි රුසියාව, ඊශ්‍රායලයටත් හමාස් සංවිධානයටත් බල කරද්දී, ඊශ්‍රායලයට සහාය දක්වමින් ඇමෙරිකාව පෙන්වා දී ඇත්තතේ, ගාසා තීරයට සටන් විරාමයක් අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීම පමණක් බවත්ය.
ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ආරම්භ වුණු යුද ගැටුම් අවසන් කරමින් දේශපාලන විසඳුමකට යෑමට තමන් සහාය ලබා දීමට සුදානම් යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවස්ථා කීපයකදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ පවසා තිබේ.
එහිදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තරයේ පවසා ඇත්තේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දමා, හමාස් සංවිධානය අඩපණ කරන තුරු සටන් අත්නොහරින බවය.
පසුගිය ඉරිදා, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර සිට ඊශ්‍රායල වැසියන් පිරිසක් රැගෙන රුසියාවේ ඩැගෙස්තාන් පළාතේ, ගුවන්තොටුපොළකට ආ මගී යානයක් වට කිරීමට එම පළාතේ මුස්ලිම් වැසියෝ කටයුතු කළහ. ඩැගෙස්තාන් පළාත මුස්ලිම් වැසියන් බහුලව ජීවත් වන පළාතකි.
එම මුස්ලිම් වැසියන්, ආරක්ෂක නිලධාරීන්ට පහර දෙමින්, ගුවන්තොටුපොළට කඩා වැදී ධාවන පථයට දිව ගොස් ගුවන් යානය ගොඩබෑ අවස්ථාවේදී එය වට කරමින්, එහි සිටි ඊශ්‍රායල වැසියන්ට විරෝධය දක්වන්න වූයේ, ඊශ්‍රායල ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන වැසියන් මියයෑම හෙලා දකිමිනි. ගුවන්තොටුපොළට කඩා වැදුණු කලහකාරීන් 80 දෙනකු පමණ පොලිස් අත්අඩංගුවට පත් වූ බව ද පැවැසිණි.
රුසියාව තුළ ඊශ්‍රායල පලස්තීන අර්බුදයක් නිර්මාණය කර ඇත්තේ යුක්රේනය යැයි රුසියන් ජනාධිපති පුටින් චෝදනා නගා තිබේ. ඊට අමතරව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ද එය පසුපස සිටින බවට ද රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් චෝදනා නගා තිබේ.
(ඒ.එෆ්.පී.)