මරුවා මාස දෙකක් බලන් ඉදලා
හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ උතුරු ටෙහෙරාන්හි නිවසට පැමිණෙන තෙක් මරණය මාස 2ක කාලයක් බලා සිට ඇති බවත් ඔහු ඝාතනයට ලක්වී ඇත්තේ එම නිවසේ සඟවා තිබූ බෝම්බයක් පුපුරා යාමෙන් බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
ඉස්මයිල් හනියේ ඝාතනයට ලක්වූ එම බෝම්බය සිද්ධිය සිදුවූ දිනයට මාස 2 කට පමණ පෙර ඉරානයට පැමිණිවිට නවාතැන් ගන්නා එම ආගන්තුක නිවහනට හොර රහසේ රැගෙනවිත් අටවා තිබී ඇති බවත් හනියේ ආගන්තුක නිවසට පැමිණ බෝම්බය අටවා තිබූ කාමරයට ගිය අවස්ථාවේදී දුරස්ථ පාලකයක් මගින් පුපුරවා හැර ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය. බෝම්බය පුපුරවා හැරීමට ප්රථම හනියේ බෝම්බය අටවා තිබූ කාමරයට ගොස් ඇති බවට ඝාතකයන් තහවුරු කරගෙන ඇති බව එම පුවත්පත පෙන්වා දුන්නේය.
ඉරාන ජාතිකයින් දෙදෙනකු , ඇමරිකානු නිලධාරියකු සහ මැද පෙරදිග නිලධාරීන් පස් දෙනෙකුගෙන් ලබා ගත් තොරතුරු මත නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙම අනාවරණය සිදුකර ඇත.
හානියේ නවාතැන් ගත් ආගන්තුක නිවස නෙෂාට් නම් ගොඩනැගිල්ලේ කොටසක් බවත් එම ගොඩනැගිල්ල ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අරාක්ෂාව යටතේ තිබී ඇති බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.
ඉරාන ජනපතිගේ පදවි ප්රාප්තිය සඳහා හානියේ ඉරානයට පැමිණ සිට ඇති බවත් නෙෂාට් ගොඩනැගිල්ල ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ රහසිගත හමුවීම් පැවැත්වීමට සහ ඉරානයට වැදගත් අමුත්තන්ට නවාතැන් දීමට භාවිත කරන බවත් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.
පිපිරීමෙන් ගොඩනැගිල්ල සෙලවී ඇති බවත් එහි බිත්තියක කොටසක් කඩා වැටී ඇති බවත් එම පුවත්පත පෙන්වා දුන්නේය. හනියේ ටෙහෙරානයට පැමිණි අවස්ථා කීපයකදීම මෙම ආගන්තුක නිවහනේ නවාතැන් ගෙන ඇති බවද නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.